මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි

සුප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඊයේ දිනයේදී එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවූ බව වාර්තා වෙයි. ඒ අනුව එම සමාගම අද වනවිට ලොව දෙවැනි වැඩිම වටිනාකමක් සහිත සමාගම බවට පත්ව තිබේ.

ඊයේ දිනයේදී එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර කොටස් හුවමාරුවේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටසක වටිනාකම එක්සත් ජනපද ඩොලර් 405.63ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව 1.7%කින් ඉහළ යාමත් සමගින්ම මෙලෙස එම සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන 3 ඉක්මවීම සිදුව තිබේ.

කෙසේ වෙතත් ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී එම කොටසක වටිනාකම ඉහළ යාම 0.9%ක් ලෙස සටහන්ව ඇති අතර, ඒ අනුව සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ට්‍රිලියන 2.99ක් ලෙස සටහන්ව තිබේ.

අද වනවිට ලොව විශාලතම සමාගම ලෙස සැලකෙන ඇපල් සමාගම පසුගිය වසරේදී සිය වෙළෙඳ පොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවීමට සමත් විය. ඊයේ දිනයේදී ගනුදෙනු අවසානයේදී ඇපල් සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 3.01ක් ලෙස සටහන්ව තිබේ.

විශේෂයෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම කෘත්‍රිම බුද්ධිය වෙත සිදු කරන සිය ආයෝජන ඉහළ දැමීම මෙලෙස කොටස් වටිනාකම් ඉහළ යාමට හේතුව වී තිබේ. මේ අතර ඇපල් සමාගම පසුගියදා සිය ඇපල් අයිෆෝන් නිෂ්පාදන වෙනුවෙන් චීනය තුළ වට්ටම් ලබාදීමක් සිදුවිය. මෙය ඉතාමත් කලාතුරකින් සිදුවූවක් බව පැවසෙයි.

Visits: 0