සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි රජය පවසයි. ඒ අනුව ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇත.

මෙම නිවේදනයට අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් දක්වා ඉහළ නංවා ඇත. මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10ක් ලෙස ය. එසේම රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ.

රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා ඉහළ නංවා ඇති අතර විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 සිට විසි පන් ලක්ෂය දක්වා ඉහළ නංවා ඇත.

මත්පැන් සඳහා ලබාදෙන වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ. එය මීට පෙර රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවතිණි.

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස ද නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ද අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙස ද ඉහළ නංවා තිබේ.

හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තු ද සංශෝධනය කර ඇත.කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත් කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 5ක් ද කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් 250,000ක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.

රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 5ක් ලෙස පැවති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 දක්වා අඩුකර ඇති අතර සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුව ම අය කිරීමට තීරණය කර ඇත.

Visits: 0