විදේශීය ටින්මාළු ආනයනය තාවකාලිකව  තහනම් කෙරේ

විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම සදහා පූර්ව අවසර ලබාදීම ඊයේ (11දා) දිනයේ සිට තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා උපදෙස් දුන් බව එම අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේදී ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය දේවානන්දා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත එම උපදෙස් ලබා දී තිබේ. දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සාකච්ඡාවේදී ටින් මාළු නිෂ්පාදකයන් වර්තමානයේ ටින්මාළු කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටළු රැසක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ. ඉන් ප්‍රධානතම ගැටළුව වුයේ පසුගිය මාස කිහිපය තුල ටින් මාළු විශාල ප්‍රමාණයක් විදේශිය රටවලින් ගෙන්වීම හේතුකොට ගෙන දේශීය ටින්මාළු අලෙවි කර ගැනීම දුෂ්කර වීම බව ඔවුන් පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු සදහා වැට් බදු පැනවීම හේතුවෙන් දේශීය ටින් මාළුවල වෙළඳපොල මිළ ඉහළ නැංවීමට සිදුවීමද ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ අවශ්‍යතාවය සැපිරීමට අවශ්‍ය සමස්ථ ටින්මාළු ප්‍රමාණය දේශීයව නිපදවිය හැකි වුවද පසුගිය මාස කිහිපය තුල විශාල ටින් මාළු ප්‍රමාණයක් ආනයන කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බැවින්ද දේශීය ටින්මාළු නිෂ්පාදකයන් ඉමහත් අපසුතාවයට පත්වී සිටින බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

ගෙන්වන ලද ටින් මාළු වල මිල අඩු වී ඇති බවත් වර්තමානයේ රජය විසින් පනවා ඇති වැට් සහ සෙස් බදු හේතුවෙන් තමන්ට ආනයනික ටින් මාළු ලබා දෙන මිළට සිය නිෂ්පාදන ලබා දීමට නොහැකි බැවින් සිය කර්මාන්තශාලා  මේවන විට වසා  දැමීමට සිදු වී ඇති බවත් එම නියෝජිතයන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

මෙම ගැටළුව සඳහා විසඳුම් ලබා දී ඇති අමාත්‍යවරයා දැනට ගෙන්වා ඇති ටින් මාළු සදහාද අමතර බද්ධක් අයකිරීමට සුදුසු පියවරයන් පිළිබදව සොයා බලා තමන්ට වාර්ථාවක් ලබා දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්තුමිය වෙත උපදෙස් ලබා දී තිබේ.

Visits: 0