සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වන යටිතල පහසුකම් බැඳුම්කර CSE හි ලැයිස්තුගත කිරීමට SEC හි අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුව (CSE) තුළ යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම සඳහා වන නියාමන ක්‍රියාරාමුව සඳහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) පවසයි.

ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ පිළිබඳව දැනුම් දී තිබේ. මේ හරහා මෙරට යටිතලපහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය දේශීය සහ විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම අරමුණ වී තිබේ. ඒ හරහා රටෙහි ආර්ථික සංවර්ධනය අපේක්ෂාව බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙලෙස නිකුත් කෙරෙන යටිතලපහසුකම් බැඳුම්කර මගින් මෙරට තුළ මූලිකම ව්‍යාපෘති ලෙස සැලකෙන මහාමාර්ග, දුම්රිය මාර්ග. ජල කලමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, ගුවන් තොටුපොළ, නැව්තොටුපොළ, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, ස්වාභාවික ආපදා ආරක්ෂණ පද්ධති, ගැඹුරු සාගර වරායන්, ගෑස් සැපයුම් පද්ධති, උපයෝගිතා ව්‍යාපෘති, දුරකතන සන්නිවේදන යටිතල පහසුකම් යනාදිය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගැනීම අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ෆයිසාල් සලෙයිහ්, “ප්‍රාග්ධනය අනිසි ලෙස යොදා ගැනීම අපේ ආර්ථික අර්බුදයට මූලික හේතුවක් වුණා. ඒ නිසා රටෙහි සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යොදාගත හැකි දිගුකාලීන ප්‍රාග්ධනයක් රැස්කගත හැකි උපාංග වෙත යොමු විය යුතුයි. ඒ අතරතුරදීම විනිවිදභාවට සහ වගකීම්සහගතබව හරහා මෙම ප්‍රාග්ධනයන් අදාළ ව්‍යාපෘති වෙනුවෙන්ම යොදා ගැනීම සහතික කරමින් ආයෝජක සුරක්ෂිතතාවත් සැලසිය යුතු වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

ඔහු සඳහන් කරන ආකාරයට මෙවැනි බැඳුම්කර හරහා මෙරට නගරසභා, නාගරික කවුන්සිල, ප්‍රාදේශීය සභා, නාගරික සංවර්ධන අධිකාරියට මෙන්ම විශාල ප්‍රමාණයේ පෞද්ගලික සමාගම් වෙතත් මෙවැනි යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් සිය මුදල් යෙදවීමේ හැකියාව පවතී.

Visits: 0