කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකු සේවක සංගමය (CBEU) අතර සාමුහික ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුමක්

කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සමග නව සාමුහික ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුමකට පිවිසෙමින්, වඩා යහපත් සේවක සේවා කොන්දේසි සහතික කිරීම සඳහා බැංකුවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කර ඇතැයි පවසයි.

කොමර්ෂල් බැංකුව, සංගමය සහ සේවකයින් අතර සහයෝගීතාවය තුළින් කාර්යක්‍ෂම හා ඵලදායී සේවා පරිසරයක්ද පවත්වාගෙන යෑමද මෙම ක්‍රියාවලිය මගින් අපේක්‍ෂා කරයි.

සාමුහික ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සහ සංගමයේ සාමාජිකයින්ද ආවරණය වන අතර, එමගින් විධායක සහකාර ශ්‍රේණිවල හා අනුබද්ධ ශ්‍රේණිවල සහ විධායක නොවන ශ්‍රේණිවල ස්ථිර රැකියා කොන්ත්‍රාත්තු මත සේවයේ නියුතු සංගමයේ සාමාජිකයින් ආවරණය කෙරෙයි. දෙපාර්ශ්වය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම හරහා, විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආවරණය වේ.

අත්සන් කරන ලද සාමුහික ගිවිසුම සහ අවබෝධතා ගිවිසුම 2026 දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වේ.

ගිවිසුම අත්සන් කරන අවස්ථාවට CBEU ශාඛා සංගමයේ වැඩ බලන ලේකම් රමේෂ් ප්‍රනාන්දු, CBEU ශාඛා සංගමයේ සභාපති සමීර කසුන්, CBEU ලේකම් රන්ජන් සේනානායක, CBEU සභාපති චන්න දිසානායක, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව   සම්පත් කළමනාකරණය ඉසුරු තිලකවර්ධන යන මහත්වරුන් සහභාගි වී තිබේ.

Visits: 0