සියැට් සමාගම රු.මි. 476ක ආයෝජනයකින් මෙගාවොට් 2.4 ක වහල මත සවිකළ සූර්ය විදුලි බලාගාරයක් පිහිටුවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස්, කැළණියේ තම නිෂ්පාදන සංකීර්ණයේ මෙහෙයුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණුව සහ කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස රුපියල් මිලියන 475.97 ක් ආයෝජනය කරමින් වහලය මත සවිකරන සූර්ය පැනල බලාගාරයක් නිම කර ඇත.

රීගන් රිනීවබල්ස් පුද්ගලික ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් මෙලෙස කර්මාන්තශාලා වහලය මත සවිකර ඇති මෙගාවොට් 2.4 ක සූර්ය බලාගාරය එහි මෙහෙයුම් කාලය තුළ ගිගාවොට් පැය 59.61 ක් උත්පාදනය කරනු ඇති අතර, සියැට් ජාතික විදුලිබල පද්ධතියෙන් ලබා ගන්නා විදුලි අවශ්‍යතාවයෙන් 21%ක් පමණ අඩු කර ගනිමින්, විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ටොන් 42,326 ක ප්‍රමාණයක් ඉවත් කිරීමට දායක වන බව සමාගම පවසයි.

වර්ග අඩි 295,200 ක් වන සූර්ය පැනල පද්ධතිය 2023 දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක වීම ආරම්භ කළ අතර එමගින් සමාගමේ වත්මන් නිෂ්පාදන පිරිවැයෙන් 13% ක් වන විදුලි බිල ද අඩු වනු ඇත.

සූර්ය පැනල, ඉන්වර්ටර්, ඇවිදීන මංතීරු, පවිත්‍රකරණ පද්ධති හා ලංකා විදුලි බල මණඩලයේ (ලංවිම) ජාල සම්බන්ධතාවය ලබා ගැනීමේ පිරිවැය යන සියල්ල සියැට් කැළණි සමාගමේ මෙම ආයෝජනය තුළ අන්තර්ගත විය.

“ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නිසා සියැට් කැළණි, ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් සපයන්නෙක් වන අතරම අපගේ කැපවීම ඉන් ඔබ්බට ගොස් ප්‍රජාව හා පරිසරය ද ආවරණය කරනවා,” යැයි සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා පැවසීය. එතුමා තවදුරටත් පැවසූයේ: “පුනර්ජනනීය බලශක්තිය සඳහා වන මෙම ආයෝජනය අපගේ තිරසාරබව කෙරෙහි ඇති අරමුණු සඳහා එක් උදාහරණයක් පමණි.”

නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම, පසුගිය වසර 10 තුළ පමණක් ශ්‍රී ලංකාවේ සිදුකළ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 8.5 ඉක්මවයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා ටයර් ආවරණය කරයි. සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු නිෂ්පාදන තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට් කැළණි හෝල්ඩිංග්ස් සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැළණි සමාගම ඉටු කරනු ලබයි.

Visits: 50