කොමර්ෂල් බැංකුවේ නව ලාංඡනය එළිදකියි

තිරසාර බව උදෙසා වූ කැපවීම සංකේතවත් කරමින් කොමර්ෂල් බැංකුවේ නව ලාංඡනය එළිදක්වමින් 2024 වසර ආරම්භ කළ බව පවසයි.

ඒ අනුව දුටු පමණින් හඳුනා ගතහැකි නිල් පාටින් යුත් කොමර්ෂල් බැංකු ලාංඡනයට මින් පසු කොළ පැහැ අංගයක්ද එකතු වී තිබේ. ඒ තිරසාර බව, විවිධත්වය, අන්තර්ගතකරණය, යහ පාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී විසඳුම් ආදී වූ බැංකුවේ බහුවිධ කැපවීම පෙන්නුම් කරමින් බව බැංකුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා: “තිරසාර බව සඳහා වූ අපගේ කැපවීම හුදෙක් අලංකරණ වචනයක් නොවේ. එය අපගේ තීන්දු තීරණ, ක්‍රියාවන් හා අපි ලබාදෙන සේවාවන්ට ආභාෂය ලබා දෙමින් අපගේ DNA තුළට මුල් බැසගෙන තිබේ. අපි සිදු කරන සියළුම කාර්යන්වලදී අප තිරසාර බැංකුවක් වන අතර සිය ආයතනික අනන්‍යතාවය තුළ එම කැපවීම ප්‍රකාශනය කළ ශ්‍රී ලංකාවේ පළමු ආයතනය වේ. අපගේ පාර්ශවකරුවන්, සේවානියුක්තිකයින්, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන් හා ව්‍යාපාරික හවුල්කරුවන් එය බැලූ බැල්මට අවබෝධ කර ගැනිම අපට අවශ්‍යයි.” යනුවෙන් පවසයි.

“නව ලාංඡනය අපගේ සියළුම මෙහෙයුම් තුළ හා අප ව්‍යාපාර කරන ආකාරය තුළ පූර්ණ තිරසාරත්වය සඳහා වූ අපගේ කැපවීම පිළිබිඹු කරයි. කඩදාසි රහිත ගනුදෙනු, වගකිවයුතු අනුකූලතා පිළිවෙත් සහ මෙහෙයුම් වලදී බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම ආදී ක්‍රියාවන් මෙයට අයත් වනවා,” යනුවෙන්ද මනතුංග මහතා තවදුරටත් පැවසීය.

බැංකුව සිය තිරසාර ක්‍රියාකාරකම් සඳහා නියමු ප්‍රතිපත්තිය ලෙස ඉතා පරීක්ෂාකාරී ලෙස සකස් කරන ලද තිරසාර උපාය මාර්ග සැලැස්මක් අනුගමනය කරයි. එම උපාය මාර්ගයේ ප්‍රධාන කුළුණු තුන වන්නේ තිරසාර බැංකුකරණය, වගකීම් සහගත සංවිධානත්වය හා ප්‍රජා බලපෑම වේ. මෙම කුළුණු තුන යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර නවයක් තිබේ. ඒවා නම් වගකීම් සහගත මූල්‍යකරණය, මූල්‍ය අන්තර්ගතකරණය, තිරසාර නිෂ්පාදන හා සේවා, හරිත හා ආරක්ෂිත සේවා ස්ථානය, සේවා ස්ථාන සංස්කෘතිය, සමාජ ව්‍යවසාය, සමාජ සහභාගීත්වය, සහ පරිසර සහභාගීත්වය යි.

බැංකුව පැවසුවේ මෙම ප්‍රධාන ක්ෂේත්‍ර සියල්ල, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සකස් කරන ලද තෝරාගත් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) හතක් සමඟ ගළපා ඇති බවයි. ඒවා නම් ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, දැරිය හැකි සහ පරිසරය දූෂණය නොකරන නොහොත් පිරිසිදු බලශක්තිය, ශිෂ්ඨ සම්පන්න කර්තව්‍යන් හා ආර්ථික වර්ධනය, කර්මාන්තය, නවෝත්පාදන හා යටිතල පහසුකම්, වගකීම් සහගත පරිභෝජනය හා නිෂ්පාදනය සහ ඉලක්ක සඳහා පාර්ශවකාරීත්වය යි.

තම තිරසාර ඉලක්කවලට අනුව යමින් කොමර්ෂල් බැංකුව විසින් තිරසාර උපාය මාර්ග සකස් කිරීම හා ඉහළ වැදගත්කමක් ඇති තීන්දු තීරණ ගැනීම සඳහා වෙන්වූ  විධායක තිරසාර කමිටුවක් පිහිටුවා ඇත. බැංකුවේ සියළුම මූලික ව්‍යාපාරික අංශවල නියෝජනයෙන් සැදුම් ලත් මෙම විධායක තිරසාර කමිටුවට පැවරුණු කාර්යභාරය වන්නේ සම්මත කරගත් උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීම වේ. කාර්යමණඩලයේ සහභාගීත්වය සහ දැනුවත්භාවය උපරිම ලෙස ලබා ගැනීම උදෙසා බැංකුව මගින් හොඳම තිරසාර ශාඛාව සහ හොඳම තිරසාර දෙපාර්තමේන්තුව සඳහා සම්මාන ප්‍රදානෝත්සවයක් හඳුන්වා දී තිබේ. තවද, ආයතනය තුළ තිරසර සංස්කෘතියන් ඇති කිරීම සඳහා සේවකයින් සහභාගී කරගැනීමට විවිධ ව්‍යාපාරික ඒකකවලින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ අයවලුන්ගෙන් සැදුම්ලත් තිරසර කණ්ඩායමක් ද පිහිටුවා ඇත.

පරිසර හිතකාමී නිමැවුම්වලට අනුබල දෙන මූල්‍යකරණ නිෂ්පාදන, හරිත ව්‍යාපාරික මෙහෙයුම් සහ තිරසාර ඉදිකිරීම් සඳහා බැංකුව විසින් IFC, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ගෝලීය හරිත වර්ධන ආයතනය (GGGI), සහ ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය (GBCSL) යන ආයතන සමඟ සහයෝගීතාවයන් වලට ද එළඹ තිබේ.

Visits: 53