බංග්ලාදේශ ග්‍රාමීන් බැංකු නිර්මාතෘ මුහම්මද් යුනුස්ට මාස හයක සිරදඬුවමක්

බංග්ලාදේශය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සඳහා ක්‍රියාත්මක කෙරුණු ග්‍රාමීන් බැංකුවේ නිර්මාතෘවරයා වන නොබෙල් සාම ත්‍යාග ලාභී මුහම්මද් යුනුස් හට මාස හයක ලිහිල් සිරදඬුවමක් පැමිණවීමට එරට අධිකරණය අද (01දා) පියවර ගත්තේය.

එරට තුළ පවතින කම්කරු නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව මෙම දඩුවම් පැමිණවීම සිදුව තිබේ. මෙහිදී අදාළ දඩුවම දේශපාලන වුවමනාව අනුව ලබාදුන් දඩුවමක් ලෙසට ඔහුගේ ආධාරකරුවෝ සඳහන් කර සිටිති.

ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු ග්‍රාමීන් ටෙලිකොම් සමාගම තුළ සේවකයන්ගේ සුභසාධනය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට අපොහොසත්වීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. එහිදී ඔහුත් සමගින් සමාගමේ ප්‍රධානීන් තිදෙනෙකුට මෙම සිරදඩුවම නියමවී ඇත. කෙසේ වෙතත් ඔවුන් සියලු දෙනා වෙතම මෙහිදී ඇප හිමිව ඇති අතර, ඔවුන් චෝදනා ප්‍රතික්ෂේප කරයි.

83 හැවිරිදි වියේ පසුවන යුනුස් ආරම්භ කළ මෙම ග්‍රාමීන් බැංකුව හරහා බංග්ලාදේශයේ මිලියන ගණනක් ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකි විය. පසුව මෙම සංකල්පය ලොව පුරා දියුණූ වෙමින් පවතින රටවල් රැසක් පුරාම ව්‍යාප්ත විය.

මේ හේතුවෙන් 2006 වසරේදී ඔහු වෙත නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි. කෙසේ වෙතත් බංග්ලාදේශය තුළ ඔහු ඇති කරගත් ජනප්‍රියත්වය දේශපාලන එදිරිවාදිකමක් දක්වා වර්ධනය වී ඇති අතර, වත්මන් බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා දීර්ඝ කාලයක සිට ඔහුගේ ප්‍රතිවාදියෙකු ලෙස කටයුතු කරන බව එරට මාධ්‍ය පවසයි.

Visits: 54