පෑන්ඒෂියන් පවර් පීඑල්සී වෙත පොළොව මත සවි කරන සූර්ය බලාගාර ව්‍යාපෘති 6ක් පිරිනැමේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම (PAP.N0000) වෙත පොළොව මත සවි කෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (Solar PV) ව්‍යාපෘති හයක් පිරිනැමීමට ලංකා විදුලි බල මණ්ඩලය (CEB) පියවර ගෙන ඇතැයි පවසයි.

මෙහිදී පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගම් හතරක් වෙත මෙම ව්‍යාපෘති පිරිනැමීම සිදුව තිබේ.

මේ වසරේ මාර්තු 14 වැනිදා එම ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම සිදු කෙරුණු අතර, පසුගිය නොවැම්බර් 10 වැනිදා මෙලෙස ලංකා විදුලි බල මණ්ඩලය මගින් එම ව්‍යාපෘති පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයක් (PPA) ලෙස පවත්වාගෙන යාම සඳහා පිරිනමා ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව 5MW ක විදුලි උත්පාදන ධාරිතාවකින් යුත් බලාගාර හයක් ලෙස ගාල්ල, අනුරාධපුරය, අම්පාර, කුරුණෑගල, මාහෝ සහ මාතර යන විදුලි උපපොළ ආශ්‍රිතව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ.

මෙම ව්‍යාපෘති සියල්ලම හරහා උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති විදුලි ධාරිතාව 30MW කි. ලබන 2024 වසරේ මැද භාගය පමණ වන විට මෙම ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සැලසුම වී තිබේ. එම ව්‍යාපෘතිවල සාර්ථකත්වයත් සමගින්ම දැනට එම සමාගම මගින් ලබා දෙන සමස්ත විදුලිබල ධාරිතාව දෙගුණයක් පමණ වනු ඇතැයිද සඳහන් වෙයි.

“අපි විශ්වාස කරනවා මේ ව්‍යාපෘති මගින් ජාතික බලශක්ති ඉලක්ක වෙත වගේම අහිතරක වායු විමෝචනය අඩු කිරීමේ ඉලක්ක වෙතත් ඉතාමත් හොඳින් දායකත්වයක් ලබා දේවි කියලා.” යනුවෙන් පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම පවසයි.

2002 වසරේදී ස්ථාපිත කෙරුණු මෙම පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 462‍,875,231ක් එනම් 74.06%ක් RIL Property PLC වෙත හිමිව තිබේ.

මෙම පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම අද වනවිට මෙරට ස්ථාන කිහිපයකම කුඩා ජල විදුලිබලාගාර, පොළොව මත පිහිටුවූ සූර්ය විදුලිබලාගාර සහ වහලමත සවි කෙරෙන සූර්ය විදුලිබලාගාර ඇතුළු පුනර්ජනනිය බලාගාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරයි. මීට අමතරව අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි සැම්බියාවේද එම සමාගම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.

Visits: 109