IELTS Prize 2023 සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ

British Council IELTS පරීක්ෂණයට පෙනී සිටින්නන් වෙනුවෙන් සංවිධානය කරන IELTS Prize තරගයේ 2023 අදියරට අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී ඇතැයි පවසයි. මෙහි ජයග්‍රාහකයන්ට ඉංග්‍රීසි භාෂාව කථාකරන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගාස්තු වෙනුවෙන් පවුම් 5,000 ක් දක්වා මුදල් ත්‍යාග හිමි වෙයි.

ශ්‍රී ලංකාව, චීනය, ජපානය, හොංකොං, ඉන්දුනීසියාව, කොරියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලය යන රටවල වෙසෙන්නන්ට මෙම වසරේ IELTS Prize තරගය සඳහා සහභාගී විය හැක.

IELTS හරහා දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලවල ප්‍රථම හෝ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ සහ, 2023 ජනවාරි මාසය සහ 2024 මාර්තු මාසය අතර පාඨමාලා ආරම්භ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම තරගයට සහභාගී විය හැක. 2023 සැප්තැම්බර් 15 දිනට පෙර මේ සඳහා අයදුම්පත් යොමුකළ යුතු ය.

තරගකාරී අයදුම්කරණ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහකයන් 9 දෙනෙකු තෝරාගැනෙනු ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අදාළ ත්‍යාග මුදල් හිමි වනු ඇත.

“මෙම තරගයෙන් ශ්‍රී ලාංකිකයන්ට ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබී තිබීම මට මහත් සතුටක්. තරගය හා එහි ජයග්‍රාහකයන් දැකගැනීමට මා මහත් උනන්දුවෙන් බලා සිටිනවා. මීට පෙර මෙහි ජයග්‍රහණ ලැබූවන් බොහෝ දෙනෙක් තමන් විදේශ රටවලදී ලැබූ අධ්‍යාපනය තම රටවල යහපත වෙනුවෙන් යෙදවූ ආකාරය අපට දැකගන්න ලැබුණා. ලෝකවාසීන් සියලුම දෙනා වෙනුවෙන් ලෝකය වඩාත් සාමකාමී හා සෞභාග්‍යමත් තැනක් බවට පත්කිරීමට නම්, ජාත්‍යන්තර අධ්‍යාපනය හා සහයෝගීත්වය අතිශයින් වැදගත් බව අපගේ විශ්වාසයයි. මේ අධිෂ්ඨානශීලී හා බුද්ධිමත් පුද්ගලයන්ට තම ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා.” ශ්‍රී ලංකාවේ British Council අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.

IELTS Prize තරගය, ඒ සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් නිතර අසනු ලබන ප්‍රශ්න ඇතුළු තොරතුරු සඳහා පිවිසෙන්න: https://takeielts.britishcouncil.org/take-ielts/study-work-abroad/ielts-prize

Visits: 60