ජූනි 30 විශේෂ බැංකු නිවාඩුව දේශීය ණය ප්‍රශස්ථකරණයට සහාය දීමටයි – මහ බැංකු අධිපති

ලබන ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ‌ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට හේතුව දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩපිළිවෙල (Domestic Debt Optimization) සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය වීම බව  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (25දා) රාත්‍රියේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අධිපතිවරයා මේ බව පවසා සිටියේය.

ඒ අනුව එකදිගට දින 5 ක කාලයක් බැංකු නිවාඩු දින වශයෙන් ගැනෙන බවත්, එම කාලය තුළ දී දේශීය ණය ප්‍රශස්ථකරණ සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කිරීමට හැකිවෙතැයි රජය බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මහ බැංකු අධිපතිවරයා, “අපි හැමෝම දන්නවා දේශීය ණය ප්‍රශස්තකරණය (Domestic Debt Optimization) කියන ඒ වැඩපිළිවෙල පසුගිය දවස්වල විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සාකච්ඡා කරලා අවසන් අදියරකට ඇවිල්ලා තියෙනවා. එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි කාලපරාසයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, ඉන්පසු පාර්ලිමේන්තුවේ අදාළ කමිටු, මුදල් කාරක සභාව සහ අනෙකුත් අදාළ කමිටුවලට සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි රජය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා මේ මාසේ 30 වැනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශ කිරීමට ප්‍රධාන වශයෙන් හේතුව වුණේ,” යනුවෙන් පැවසීය‍.

ඒ අනුව මෙලෙස ජූනි 30 සිකුරාදා බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ විට එකදිගට දවස් පහක් ලෙස ක්‍රියාත්මක වෙළෙඳපොළවල් වසා දැමීමේ කාලය තුළ, මෙම සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කිරීමට හැකි වෙතැයි රජය බලාපොරොත්තු වන බවත් අධිපතිවරයා සඳහන් කළේය.

“මේ විදියට විශේෂිත බැංකු නිවාඩුවක් ලබාදීමට හේතුව එය මිසක් වෙන කිසිම හේතුවක් නෙමෙයි. කොහොම නමුත් එදින බැංකුවලට, ගනුදෙනුවලට, විශේෂයෙන් සාමාන්‍ය නිවාඩු දවසක සිදුකරන බැංකු ගනුදෙනු, ATM ගනුදෙනු, අන්තර්ජාල බැංකු ගනුදෙනු, ඒවාට කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ.” යනුවෙන්ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා සිදු කළ නිවේදනයකට අනුව ලබන ජූනි 30වැනිදා විශේෂිත බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ජූනි 29 වන දා (බ්‍රහස්පතින්දා) සහ ජූලි 03 වන දා (සඳුදා) රජයේ නිවාඩු දින වන බැවින් ජූනි 30 (සිකුරාදා) දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම, එකදිගට දින 5ක් බැංකු වසා දැමීමට නියමිතව තිබූ අතර, මෙම තීරණය බොහෝ පාර්ශවවලට කුතුහලයක් ඇති කළ කාරණයක් විය.

Visits: 111