රේනෝ සිල්වා රුපියල් මිලියන 800කට එක්ස්පෝලංකා හි කොටස් මිලියන 6ක් මිලදී ගනී

ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං පෞද්ගලික සමාගමේ සභාපතිවරයා වන රේනෝ සිල්වා මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි කොටස් මිලියන 6ක් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ මහතාට අයත් ආයෝජන සමාගමක් වන ෆැන්ටම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම හරහා මෙම මිලදී ගැනීම සිදු කර ඇතැයි වාර්තා සඳහන් කරයි.

මෙය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණයෙන් 0.3%ක ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව තිබූ එක්ස්පෝ ලංකාහි කොටස් මෙලෙස රේනෝ සිල්වා මහතා වෙත අලෙවි කර තිබේ.

මෙහිදී එක් කොටසක් රුපියල් 132.75ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇති අතර, ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 800කි.

මෙම මිලදී ගැනීම සිදුවන අවස්ථාව වනවිටත් රේනෝ සිල්වා මහතා සතුව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්හි කොටස් මිලියන 4ක හිමිකාරීත්වයක් පැවතී ඇත. ඒ අනුව ඔහු සතු එක්ස්පෝ ලංකා කොටස්හිමිකාරීත්වය මේ වන විට මිලියන 10ක් දක්වා ඉහළ නැග තිබේ.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කොටසක වටිනාකම රුපියල් 135.25ක් ලෙස සටහන්ව තිබුණි. මෙය පෙර දිනයේ පැවැති රුපියල් 131.00ට සාපේක්ෂව රුපියල් 4.25ක එනම් 3.24%ක වැඩිවීමකි.

මෙලෙස රේනෝ සිල්වා මහතා මිලදී ගත් කොටස් මිලියන 6ත් සමගින් ඊයේ දිනය තුළදී එක්ස්පෝ ලංකා කොටස් මිලියන 6.3ක් ගනුදෙනුවී ඇති අතර, එහි සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 848ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර ආසන්න කාලයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි වඩාත් සක්‍රීය ආයෝජකයෙකු බවට පත්ව සිටින රේනෝ සිල්වා මහතා, පසුගිය සතියේදී රුපියල් බිලියන 2කට සම්පත් බැංකුවෙහි 3%ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත්තේය. ඒ අනුව ඔහු සතුව සම්පත් බැංකුව තුළ ඇති සමස්ත කොටස් සංඛ්‍යාව 9.4%ක් දක්වා ඉහළ නැග ඇති අතර, මේ සමගම ඔහු බැංකුවෙහි තෙවැනි විශාලතම තනි කොටස් හිමිකරුවා බවටද පත්ව සිටියි.

Visits: 755