සෙලින්කෝ ලයිෆ් හි SLIM ඩිප්ලෝමාව පළමු උපාධිධාරී කණ්ඩායම බිහි කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ එක්ව නිර්මාණය කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් අලෙවිකරුවන් 30 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම පසුගිය දා ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයට සහභාගි විය.

සෙලින්කෝ ලයිෆ් විසින් මෙම වසරක පාඨමාලාව හඳුන්වා දෙනු ලැබුවේ සිය විකුණුම් නිලධාරීන්ගේ කුසලතා, දැනුම සහ නිපුණතා වැඩිදියුණු කිරීමට සහ ප‍්‍රමුඛ වෙළඳපොළට පිවිසීමටත්, පාරිභෝගිකයින්ට සුවිශේෂී සේවාවන් සැපයීමටත් හැකි ප‍්‍රවීණ විකුණුම් බලකායක් පෝෂණය කිරීමට බව සමාගම පවසයි.

මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළෙඳපොළ, බදුකරණය සහ තවත් බොහෝ විෂයයන් ඩිප්ලෝමාවට ඇතුළත් විය.

වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රංග අබේනායක මහතා මෙසේ පැවසීය: ”මෙම ඩිප්ලෝමාව සාර්ථක අපේක්ෂකයින්ගේ වෘත්තීය සංවර්ධනයට දායක වෙනවා පමණක් නොව, අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වර්තමාන මෙන් ම ප‍්‍රක්ෂේපිත අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා මූල්‍ය ප‍්‍රතිපත්ති සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව වඩා හොඳින් උපදෙස් ලබා දීමට අලෙවිකරුවන් සන්නද්ධ කිරීමට ද දායක වනු ඇත. අපගේ සේවකයින්ගේ හැකියාවන් උදෙසා ආයෝජනය කිරීමේ වැදගත්කම අපි තරයේ විශ්වාස කරන අතර ඔවුන්ගේ එම විශේෂඥතාව තුලින් අපගේ ගනුදෙනුකරුවන් සෘජුව ම ප‍්‍රතිලාභ ලබන බව ද අප හඳුනා ගතිමු.”

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති චින්තක පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: ”සේවකයින්ට ඔවුන්ගේ වෘත්තීය දියුණුවට හේතු වන සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට සෙලින්කෝ ලයිෆ් දක්වන කැපවීම, වෘත්තීයභාවය පෝෂණය කිරීම සඳහා ම කැප වන SLIM ආයතනයට ධෛර්යයක් ලබා දෙනවා. විකුණුම් නිළධාරීන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා පාඨමාලා අන්තර්ගතය අභිරුචිකරණය කිරීමට සමාගම සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.”

සෙලින්කෝ ලයිෆ් උපාධිධාරීන් අතර ප‍්‍රථම ස්ථාන තුන දිනාගත් සිසුන් තිදෙනාට SLIM ආයතනයේ  ඕනෑම පාඨමාලාවක් හැදෑරීම සඳහා සමාගම විසින් ශිෂ්‍යත්ව පිරිනැමීම කැපී පෙනෙන අතර, කණ්ඩායමේ ඉහළ ම ලකුණු ලබා ගත් අපේක්ෂකයාට තෝරාගන්නා පාඨමාලාවේ පිරිවැයෙන් 75% ක් හිමිවන අතර දෙවන හා තෙවන ඉහළ ම ලකුණු ලබා ගත් අපේක්ෂකයින් පාඨමාලාවේ පිරිවැයෙන් පිළිවෙළින් 50% ක් සහ 25% ක් හිමිවේ.

Visits: 36