කොළඹ කොටස් හුවමාරුවෙහි S&P SL 20 දර්ශකය අද (19දා) සිට වෙනස් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකයට (S&P SL 20 ) ඇතුළත් ලැයිස්තුගත සමාගම්හි වෙනස්කමක් අද දිනයේ සිට සිදුවන බව පවසයි.

ඒ අනුව අද දිනයේ සිට එම දර්ශකයෙන් සමාගම් තුනක් ඉවත් කෙරෙන අතර, ඒ වෙනුවට තවත් සමාගම් තුනක් ඊට එකතු කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ඩෝව් ජෝන්ස් දර්ශකය මගින් 2023 වසරේ මැදත් සමගින්ම සිදු කරන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයේ සමතුලිතකරණය යටතේ මෙලෙස සමාගම් ඉන් ඉවත් කිරීම සහ ඇතුළත් කිරීම සිදුව තිබේ.

මෙලෙස ඉවත් කෙරෙන සමාගම් වන්නේ බ්‍රවුන් සහ සමාගම (BRWN.N000), ටීජේ ලංකා පීඑල්සී (TJL.N000) සමාගම සහ වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී (WATA.N000) යන සමාගම්ය.

ඒ වෙනුවට හැටන් නැෂනල් බැංකුව (HNB.N000), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී (HHL.N000) සහ ශ්‍රී ලංකා ටෙලිකොම්  එල්සී (SLT.N000) යන සමාගම් S&P SL 20 දර්ශකයට එක් කර තිබේ.

වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ සමස්තය ඇතුළුව තවත් කාරණා කීපයක් පදනම් කරගනිමින් විශාලතම සමාගම් 20 අනුව මෙම S&P Sri Lanka 20 දර්ශකය සකස් කෙරේ. එහිදී සමාගම් 20ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙයි. මෙහිදී උපරිම විශාලත්වය, ද්‍රවශීලතාව සහ මූල්‍යමය හැකියාව යනාදී කරුණු සලකා බැලේ.

මෙය GICS (Global Industry Classification Standard) නම් ජාත්‍යන්තර ප්‍රමිතීත්ට අනුව මෙම කොටස් වර්ගීකරණය කෙරෙමින් සැකසෙන්නකි.  

මෙම S&P Sri Lanka 20 දර්ශකය සකස් කිරීමේ සම්ප්‍රදාය මේ වනවිට අර්ධවාර්ෂික ආකාරයෙන් පවත්වාගෙන එයි. මීට පෙර එය වාර්ෂිකව සකස් කිරීම සිදු විය. සෑම වසරකම ජූනි සහ දෙසැම්බර් මාසවලදී මෙම දර්ශකය වෙත අලුතින් සමාගම් එකතුවීම සහ ඉවත් වීම සිදු වෙයි.

මෙහිදී S&P Sri Lanka 20 දර්ශකය වෙත ඇතුළුවීම සඳහා සමාගමක් සතුව ශ්‍රී ලංකාරුපියල් මිලියන 500 ක වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක්, මාස හයක් පුරාවට රුපියල් මිලියන 0.25ක් වටිනා මධ්‍යයන වෙළෙඳාමක් සහ මෙම දර්ශකය සමතුලිත කිරීමේ දිනයට මාස 12කට පෙරාතුව වඩාත් යහපත් දළ ආදායමක් පැවැතීම යනාදී කරුණු පැවතිය යුතු බව නිර්දේශ කර තිබේ.

කොළඹ කොටස් හුවමාරුවේ මෙම නව S&P Sri Lanka 20 දර්ශකය සහ ඊට අදාළ සමාගම් සහ එම කොටස්හි සංකේත පහත දැක්වෙයි.

Visits: 183