මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකය 11.5%කින් පසුබසී

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ පළමු කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) තුළදී 11.5%කින් පහත වැටී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2023 වසරේ පළමු කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

මෙම ඇස්තමේන්තුවට අනුව 2023 වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,114,187ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ එනම් 2022 වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් මිලියන 3,519,400 හා සැසඳීමේදී මෙලෙස 11.5%ක ඍණාත්මක වර්ධනයක් බවට පත්ව තිබේ.

එහිදී 2023 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය වෙනුවෙන් කර්මාන්ත අංශයේ දායකත්වය 28.7%ක් ලෙසත්, සේවා අංශයේ දායකත්වය 58.2%ක් ලෙසත් කෘෂිකර්මාන්ත අංශය 8.0%ක් ලෙසත් සටහන්ව තිබේ. එසේම භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩු කළ) දළ දේශීය නිෂ්පාදිතයට දැක්වූ දායකත්වය 5.1%ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර වසරේ පළමු කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.8%ක සුළු වර්ධනයක් වාර්තා කර ඇත. එහෙත් කර්මාන්ත ආර්ථික කටයුතු 23.4%කින් සහ සේවා ආර්ථික කටයුතු 5.0%කින් පහත වැටී තිබේ.

Visits: 62