ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් සමාගම අත්හරී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (GREG.N0000) සිය පරිපාලිත සමාගමක් වූ සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගම අලෙවි කිරීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව එම සමාගම සතුව පැවැති සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගමේ 99.80%ක කොටස් ප්‍රතිශතයක් මෙලෙස අලෙවි කළ බව ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

සුප්‍රසිද්ධ Di පාවහන් සන්නාමය හිමිව ඇත්තේ මෙම සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගමටයි.

ඊයේ (14දා) දිනයේදී මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 650ක් ලෙස සටහන්ව තිබේ.

ආයෝජකයන් දෙපළක් වන ඉලයතම්බි තවඥානසුන්දරම් සහ ඉලයතම්බි තවඥානසූරියම් යන දෙපළ මෙලෙස  සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගම මිලදී ගත් බව සමාගම සඳහන් කරයි.

ඉලයතම්බි තවඥානසුන්දරම් සහ ඉලයතම්බි තවඥානසූරියම් යන ආයෝජකයන් අද වන විට මෙරට ලැයිස්තුගත සමාගම් රැසකම ආයෝජකයන් ලෙස කටයුතු කරයි.

මේ අතරින් එම දෙපළ සතුව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් 9,473,610 ක හිමිකාරීත්වයක් ඇත. එසේම සෙලාන් බැංකුවෙහි නිෂ්ඡන්ද කොටස් 4,497,366 ක හිමිකාරීත්වයක්ද ඔවුන් සතුය. මීට අමතරව ලංකා අයිඕසී පීඑල්සී සමාගමෙහි කොටස් 1,498,625ක්ද ඔවුන් දෙපළ සතු අතර ඉලයතම්බි තවඥානසුන්දරම් මහතාට ෂෙව්රොල් ලුබ්රිකන්ට්ස් පීඑල්සී සමාගමෙහි කොටස් 1,461,371ක හිමිකාරීත්වයක්ද අයත්ය.

Visits: 293