එලෝන් මස්ක් යළිත් ලොව අංක එකේ ධනවතා වෙයි

ටෙස්ලා, ස්පේස්එක්ස්, ට්විටර් යන සමාගම්හි හිමිකරුවා වන බිලියනපති ව්‍යාපාරික එලෝන් මස්ක් යළිත් වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය (Bloomberg Billionaires Index) පවසයි.

එම දර්ශකයට අනුව ඊයේ දිනය වනවිට මස්ක්ගේ සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 192ක් බවට පත්ව තිබුණි. විශේෂයෙන්ම මස්ක් මේ දිනවල සිදු කරන චීන සංචාරයත්, තවදුරටත් එරට තුළ ටෙස්ලා සමාගමේ ආයෝජන සිදු කිරීමට මස්ක් දක්වා ඇති කැමැත්තත් යන කාරණා මත ටෙස්ලා කොටස් වටිනාකම් ඉහළ යෑම මස්ක්ගේ වත්කම ඉහළ යෑමට හේතුව වී තිබේ.

මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මස්ක් අභිබවමින් ලොව ධනවතා බවටපත්වූ LVMH සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් මේ වනවිට එහි දෙවැනි තැනට පත්ව ඇත.

ඒ අනුව ඔහුගේ වත්කම ඊයේ දිනය වන විට ඩොලර් බිලියන 187ක් දක්වා පහත වැටී තිබේ. බදාදා දිනයේදී LVMH කොටස් වටිනාකම් පහත වැටීම බර්නාඩ්ගේ වත්කමද පහත හෙළීමට හේතු වී තිබේ.

විදෙස් මාධ්‍යවලට අනුව වසරේ මේ දක්වා කාල සීමාව තුළදී LVMH කොටස් වටිනාකම් 19.7%කින් ඉහල යද්දී, මස්ක්ගේ Tesla කොටස් වටිනාකම් 65.6%කින් ඉහළ නැග තිබේ.

ඒ අනුව මස්ක් ඉදිරියටත් ලොව අංක එකේ ධනවතාගේ ස්ථානය රැක ගනු ඇතැයි අදහස වී තිබේ.

Visits: 153