නෙළුම් කුලුණේ උත්සව ශාලා සහ කරකැවෙන ආපනශාලාවේ කළමනාකරණය Citrus Leisure PLC වෙත

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Citrus Leisure PLC සමාගම, කොළඹ නෙළුම් කුලුණේ හඳුනාගත් අවකාශ කිහිපයක් සඳහා සේවා ලබාදීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එම කුලුණ අයත් Colombo Lotus Tower Management Company (PVT) Ltd. සමාගම හා එකඟතාවකට පිවිසි බව පවසයි.

අදාළ එකඟතාවට අත්සන් තැබීම ඊයේ (මැයි 31දා) සිදුව ඇති අතර, මෙය වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන්නකි. එසේම ඇති කරගන්නා අන්‍යෝන්‍ය එකඟාවට අනුව මෙම කාලය දීර්ඝ කරගැනීමටද Citrus Leisure PLC සමාගම බලාපොරොත්තුව සිටියි.

ඒ අනුව මෙම එකඟතාව යටතේ කොළඹ නෙළුම් කුළුනේ 25 වැනි මහලේ පිහිටි උත්සව ශාලා අංක 1‍, 26 වැනි මහලේ පිහිටි උත්සව ශාලා අංක 2 මෙන්ම 27මහලේ පිහිටි කරකැවෙන ආපනශාලාව මෙන්ම 28 වැනි මහලේ පිහිටි සුඛෝපභෝගී කාමර 6ක් සහ කුලුණේ පහළම තට්ටුවේ පිහිටි මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය සේවා සැපයීම මෙන්ම කළමනාකරණය Citrus Leisure PLC සමාගම වෙත පැවරී තිබේ.

මෙහිදී කොළඹ නෙළුම් කුලුණ සඳහා අදාළ සේවාවන් සැපයීම වෙනුවෙන් Colombo Lotus Tower Management Company (PVT) Ltd. සමාගම ඉදිරිපත් කර තිබූ අභිලාශය ප්‍රකාශ කිරීමේ ප්‍රසිද්ධ දැන්වීම් වෙත ඉදිරිපත් කරන ලද ලංසු හරහා Citrus Leisure PLC සමාගම වෙත මෙම අවස්ථාව හිමි වූ බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

මෙම Citrus Leisure PLC සමාගම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන, දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන දිලිත් ජයවීර මහතාට අයත් සමාගමකි.

Visits: 261