අශෝක් පතිරගේ කොළඹ වරාය නගරයේ නව ආසිරි රෝහලක් පිහිටුවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ වරාය නගරය තුළ නව රෝහලක් පිහිටුවීමට සූදානමින් සිටින බව පවසයි.

එම සමාගමෙහි පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇති ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පෞද්) සමාගම හරහා මෙම ආයෝජනය සිදු කිරීම සැලසුම වී තිබේ.

දැනටමත් එම සමාගම සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම අතර මෙම ව්‍යාපාතිය සඳහා වන කල්බදු එකඟතාවට  පිවිසීමක් සිදුව ඇතැයිද ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඒ අනුව කොළඹ වරාය නගරයෙහි ආර්ථික කොමිසමේ ප්‍රධාන සැලසුමට අනුකූලව එහි නිර්දේශ යටතේ කොළඹ වරාය නගරය තුළ රෝහලක් ඉදිකිරීම සහ එහි මෙහෙයුම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම එකඟතාවට පිවිසි බව සමාගම පවසා සිටියි.

මෙහිදී අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පෞද්) සමාගම මගින් කොළඹ වරාය නගරයෙහි භූමියෙන් කොටසක් 99 අවුරුදු බද්දකට ලබා ගැනීමක් සිදුව තිබෙන බවත් සඳහන් වෙයි.

1986 වසරේදී ආරම්භ කෙරුණු ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අද වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සම්පාදකයා ලෙස සැලකෙයි. එහිදී එම සමාගම මෙරට තුළ වඩාත් නවීනතම පහසුකම් වලින් සමන්විත සෞඛ්‍ය සේවා සැපයීම සිදු කරයි. අද වන විට රට පුරාම ක්‍රියාත්මක රෝහල් 11ක් ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සතුව පවතින අතර,එම රෝහල් සියල්ලෙහිම 800ක් ඉක්මවූ ඇදන් ධාරිතාවක් පවතින බවත් පවසයි.

මෙලෙස ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පෞද්) සමාගම මගින් කොළඹ වරාය නගරයෙහි ඉදි කෙරෙන අලුත්ම රෝහලත් නවෝත්පාදන සහ නවීනතම සෞඛ්‍ය ආරක්ෂක විසඳුම් සැලසීම වෙනුවෙන්ම නිර්මාණය කරවන්නක් වන බවත් එහිදී සුවිශේෂී රෝගී සත්කාරක සේවාවන් රැසක්ම ඒ හරහා ලබා දෙන බවත් ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

එසේම දේශීය මෙන්ම ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයන්ගේ දායකත්වයත් මෙම ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පෞද්) සමාගම වෙත ලබා ගනු ඇති බවත්, එහිදී ජාත්‍යන්තරව පුහුණුව ලැබූ අත්දැකීම් සහි හෙද සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයක් ඊට සම්බන්ධ වෙනු ඇති බවත් සමාගම පවසයි.

ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතට අයත් සමාගමක් වන අතර, එහි නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයා වන්නේ මෙරට ප්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතාය.

Visits: 236