Uber Eats සේවාවට ඊ-පැදි (e-cycles) 100ක් එක් කෙරේ

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන ඩිලිවරි සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් ඊ-පැදි 100 ක් එක්කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම පාපැදි නිෂ්පාදකයා වන ලුමාලා සමාගම ‘Voltage Edition’ නමින් ඩිලිවරි සේවාවන් සඳහා විශේෂයෙන් නිපදවා ඇති මෙම ඊ-පැදි, පැයට කිලෝමීටර් 30 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර, එක් ආරෝපණයකින් කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගමන් කරයි. ශ්‍රී ලංකාවේ ඩිලිවරි සේවාවන් සඳහා පාපැදි භාවිතා කිරීම ආරම්භ කළ ප්‍රථම සේවාවද Uber Eats වීම විශේෂත්වයකි.

ඊ-පැදි මගින් සාමාන්‍ය පාපැදිවලට වඩා විශාල දුරක් ආවරණය කළ හැකි අතර, ඒවා සාම්ප්‍රදායික යතුරුපැදි වලට වඩා නඩත්තු කිරීමද පහසුය. පැය 4 ක් තුළ බැටරිය ආරෝපණය වන නිසා ප්‍රමාදයන් අවම වන අතර, ඉන්ධන පිරිවැයට සාපේක්ෂව වියදම්ද අවම වේ.

මේ නිසා ඩිලිවරි සේවාවන්හි යෙදෙන්නන්ට වැඩි ඩිලිවරි වාර ගණනක් සම්පූර්ණ කරමින්, වැඩි ආදායමක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙවැනි පියවර ඔස්සේ, 2040 වසර වන විට තම ප්‍රවාහන සේවාවන් සඳහා තිරසාර ක්‍රම පමණක් භාවිතා කිරීම Uber Eats හි බලාපොරොත්තුව වී ඇත.

මෙම ඊ-පැදි බෙදාදීමේ උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, Uber Eats සේවාවන්ට වඩාත්ම සක්‍රීය දායකත්වයක් දැක්වූ ඩිලිවරි සේවා හවුල්කරුවන් 100 දෙනෙකුට Uber Eats අනුග්‍රහයෙන් මෙම ඊ-පැදි ලබාදෙන ලදි. මේ සඳහා වැය වූ මුදල රු. මිලියන 42 කි.

මෙම 100 දෙනා අතරින් 90 දෙනෙකුම මීට පෙර සාම්ප්‍රදායික පෙට්‍රල් යතුරුපැදි භාවිතා කළ අතර, 10 දෙනෙකු පමණක් පාපැදි භාවිතා කළහ. ඉදිරියේදී තම ඩිලිවරි සේවා හවුල්කරුවන්ට ලුමලා ඊ-පැදි මිලදී සඳහා 30% ක වට්ටමක් ලබාදීමටත්, අමතර කොටස් සඳහා 15% ක වට්ටමක් ලබාදීමටත් Uber Eats මේ වනවිට සැලසුම් කර තිබේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ විදුලිබල හා බලශක්ති ආමාත්‍ය කංචන විජේසේකර මහතා ඊ-පැදි බෙදාදීම සිදුකළ අතර, තිරසාරත්වය උදෙසා Uber Eats දක්වන කැපවීම අගය කළේ ය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්, Uber ආසියා පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මහජන ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා) මයික් ඔර්ගිල්, සහ Uber Eats Sri Lanka සමාගමේ අන්තර්වාර සාමාන්‍යාධිකාරී පිවිතුරු කොඩිකාර යන මහත්ම මහත්මීහුද එක්වූහ.

මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති ආමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේ පැවසී ය. “මිනිසුන් ගමනාගමනයේ යෙදෙන ආකාරය සහ අන්තර්ජාලය හරහා ආහාර ඇණවුම් කරන ආකාරය වෙනස් කිරීම මගින්, තාක්‍ෂණය මූලික කරගත් සමාගම් සුසමාදර්ශී වෙනසක් ඇති කළා. දැන් ඔවුන් හරිත ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා අවධානය යොමුකළ යුතුයි. ඉන්ධන මත රඳා පැවතීම අවම කරගැනීමට මෙන්ම කාබන් විමෝචනය අවම කරගැනීමටත් අප පියවර ගත යුතු වනවා. හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ආයෝජනය කිරීම අද දවසේ අපගේ ඉහළම ප්‍රමුඛත්වයක් හිමි වන දෙයක්. ඊ-පැදි භාවිතයට යොමුවීමට Uber Eats ගත් තීරණය ප්‍රශංසනීයයි. ඔවුන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන විසඳුම් ප්‍රචලිත කිරීමට කටයුතු කරනු ඇතැයි කියා මා සිතනවා.”

පසුගිය වසරේ ඉන්ධන අර්බුදයක් පැවති අවස්ථාවේදී පාපැදි භාවිතයෙන් ඩිලිවරි සේවාවන් ලබාදීමට Uber Eats පියවර ගත්තේ ය. මේ වනවිට Uber Eats සේවාවන් අතරින් 10% ක් පාපැදි භාවිතයෙන් සිදුකෙරේ. ඉදිරියේදී විදුලි යතුරුපැදි සහ විදුලි ස්කූටර්ද තම සේවාවන්ට එක්කිරීමට Uber Eats බලාපොරොත්තු වෙයි.

මෙම නව පියවර සම්බන්ධයෙන් Uber ආසියා පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මහජන ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා) මයික් ඔර්ගිල් මහතා මෙසේ අදහස් දැක්වී ය. “ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් කැපවෙමින්, Uber Eats සේවාවේ හොඳම විසඳුම් මෙරටට හඳුන්වා දීම අපගේ අරමුණයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ඩිලිවරි සේවාවන් සඳහා පාපැදි භාවිතා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව, අප දැන් ඊ-පැදි භාවිතය ආරම්භ කර තිබෙනවා. 2040 වනවිට ගෝලීය මට්ටමින් තිරසාර ප්‍රවාහන ක්‍රම පමණක් භාවිතා කිරීම අපගේ අරමුණයි. මෙහි එක් පියවරක් වශයෙන් ළඟදීම විදුලි යතුරුපැදි සහ විදුලි ස්කූටර්ද Uber Eats සේවාවන්ට එක්කිරීමට අප බලාපොරොත්තු වනවා.”

Visits: 82