ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළ බව IMF නිවේදනය කරයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඉල්ලුම් කර තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකම අනුමත කිරීමට සිය විධායක කමිටුව තීරණය කළ බව එම අරමුදල පවසයි.

ඊයේ රාත්‍රියේදී එම අරමුදලේ නිල වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව සඳහන් කර සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ වෙත දක්වන සහයෝගයක් ලෙස SDR බිලියන 2.286ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමක් මෙලෙස අනුමත කෙරී තිබේ.

මෙහිදී එම විස්තීර්ණ ණය පහසුකම අනුමත කිරීමේ මූලික අරමුණු අතර සාර්ව ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසාරබව යළි පිහිටුවීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරිම සහ ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාවන් වෙනුවෙන් සිදුකළ යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා පියවර ගැනීම යනාදිය වෙයි.

එසේම මෙම පියවර සියල්ලක්ම රටෙහි වඩාත් අවදානමට ලක්ව සිටින පිරිස් ආරක්ෂා කිරිමට සහ පාලනය දියුණු කිරීම සඳහා යොදා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී පවසා සිටියි.

එසේම ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණයහිමිකරුවන් අතර සමීප සම්බන්ධතාව අතිශය වැදගත් වන බවත්, මෙම ණය පහසුකම් වැඩසටහන යටතේ අවධානය යොමු කර ඇති ණය තිරසාරභාවය වෙනුවෙන් එය මෙම ණය සම්බන්ධයෙන් කටුතු කිරීම වැදගත් බවත් එම අරමුදල අවධාරණය කරයි.

මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් ගත් මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන එම අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජියේවා, “දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකව පවතින දූෂණය පිටුදැකීමේ උත්සාහයන් තවදුරටත් ක්‍රියාත්මක විය යුතුයි. එහිදී වඩාත් සුවිශේෂී දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයක් වෙත රජය පිවිසිය යුතු වෙනවා. එසේම රජය විසින් මෙම දූෂණ විරෝධී සහ රාජ්‍ය පාලන ක්‍රියාරාමුව පිළිබඳව ඇස්තමේන්තුවක්ද සිදුකළ යුතු වෙනවා. ඒ අතරතුරදීම බලදාරීන් විසින් රටෙහි ආර්ථික වර්ධනය ශක්තිමත් වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරිමත් ඒ සඳහා සිය සංවර්ධන හවුල්කරුවන්ගේ තාක්ෂණික සහයෝගය සහ උදව් ලබා ගතයුතුව තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 80