“IMF ණය සහන පැකේජය අනුමතවීම අද, පළමු වාරිකය හෙට” – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම් පැකේජය සඳහා වන එකඟතාව අද (20දා) දිනයේදී අත්සන් තැබීමක් සිදුවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ දිනයේදී පළ කෙරුනු සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා තිබේ.

එසේම මෙම විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 390ක මුදලක් හෙට (21දා) දිනයේදී හිමි වනු ඇතැයිද ආචාර්ය වීරසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව මෙම මූල්‍ය පහසුකම හිමිවීමත් සමගින්ම රට තුල ඩොලර් අර්බුදය නිමාවට පත්වෙනු ඇතැයිද අධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

“අද වනවිට අත්‍යවශ්‍ය අංශ වෙත ලබාදීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය අප සතුව තිබෙනවා.ඒ වගේම මෙම IMF එකඟතාවට පිවිසීම හරහා අපිට ආයෝජක විශ්වාසය වැඩිකරමින්, තවදුරටත් අරමුදල් සහ ආයෝජන වෙත දොරටු විවර කළ හැකියි.” යනුවෙන්ද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මෙම විස්තීර්ණ මූල්‍ය එකඟතාව සම්බන්ධයෙන් අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ. එහිදී මෙම එකඟතාව යටතේ පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 390 හෙට දිනයේදී හිමිවනු ඇතැයි අදහස වී තිබේ.

එසේම එම අරමුදල මගින් මෙරට වේලාවෙන් අද රාත්‍රී  10.30ට මාධ්‍ය හමුවක් කැඳවීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා එම අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ජ්‍යෙෂ්ට මෙහෙයුම් ප්‍රධානීපිටර් බෘයර්, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී මාහාෂිරො නොසාකි සම්බන්ධ වීමට නියමිතව තිබේ.

මෙලෙස IMF පහසුකම හිමිවීමත් සමගින්ම ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 4.5ක ණය ප්‍රදානයක් සිදු කිරීමටද සූදානමින් සිටින බවත් අධිපතිවරයා පවසයි.

ඒ අනුව රටෙහි ආර්ථිකය යථාවත්වීම මේ වසරේ දෙවැනි අර්ධයේ සිට ආරම්භ වනු ඇති බවත්, 2024 වසරේ සිට එහි ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 144