ආනයන තහනම තවදුරටත් පැවතුණොත් ජර්මානු සමාගමුත් මෙරටින් යන්න ඉඩ තිබෙනවාලු?

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජර්මානු සමාගම් ඉදිරියේදී මෙරට තුළ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සූදානමින් සිටින බව ජර්මනියේ මෙරට තානාපති හොල්ගර් සෙයුබර්ට් පවසයි.

පසුගියදා කොළඹදී මෙරට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු හමුවූ අවස්ථාවකදී තානාපතිවරයා මෙම අවදානම සම්බන්ධයෙන් අනාවරණය කර තිබේ.

විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කර ඇති ආනයන තහනම තවත් වසර දෙකක් පැවතුණහොත් මෙම ජර්මානු සමාගම් එම තීරණය ගන්නා බවට තමන්ට දැනුම් දුන් බවත් තානාපතිවරයා පවසා තිබේ.

අද වනවිට මෝටර් රථ අමතර උපාංග ඇතුළුව තවත් ජර්මානු නිෂ්පාදන රැසකම මෙරට අලෙවි නියෝජිතයන් ලෙස ජර්මානු සමාගම් රැසක් මෙරට තුළ සිය මෙහෙයුම් සිදු කරමින් සිටියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට සූදානම් සිටින ණය පහසුකමට අදාළ එකඟතාව සම්පූර්ණවීමත් සමගින්ම තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බවට එම සමාගම් බලාපොරොත්තුව තබා ඇතැයිද තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ආනයන තහනම ඇතුළුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජර්මානු සමාගම් මේ දක්වා ශ්‍රී ලංකා බලධාරීන් සමගින් සාකච්ඡාකර ඇති බවත්, ඒ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද වන බවත් තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 219