Chevron සමාගමත් මියන්මාරය හැර යයි

එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ඉන්ධන සමාගමක් වන Chevron Corp. සමාගම මියන්මාරය තුළ සිදුකළ සිය මෙහෙයුම් අත්හැරීමට තීරණය කර ඇතැයි පවසයි. මියන්මාරයේ පවතින මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිදුවීම්වලට විරෝධය දැක්වීමක් ලෙස එම සමාගම මෙලෙස එරටින් පිටත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙහිදී එම සමාගම සිය මෙහෙයුම් කටයුතු කැනඩාවේ MTI සමාගම වෙත අලෙවි කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහිදී  Chevron සමාගම මියන්මාරය තුළ සම්බන්ධව සිටි යධානා නම් ව්‍යාපෘතියක් තුළ තිබූ එම සමාගමේ 41.1%ක කොටස් ප්‍රතිශතයක් මෙලෙස එම කැනඩා සමාගමේ පරිපාලිත සමාගමක් වෙත අලෙවි කර තිබේ.

මියන්මාර රජය යටතේ ක්‍රියාත්මක වන MOGE සමාගම හා ඇති කරගත් ඒකාබද්ධ හවුල් එකඟතාවක් යටතේ ෂෙව්රොන් සමාගම මෙලෙස යධානා නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පැවතුණි. ඒ හරහා දේශීයව භාවිතය සඳහා මෙන්ම තායිලන්තය වෙත අපනයනය සඳහාද ස්වාභාවික වායු නිෂ්පාදනය සිදු කෙරිණි.

Chevron Corp. සමාගමද ඇතුළුව මියන්මාරයේ ක්‍රියාත්මකව පැවැති තවත් ඉන්ධන සමාගම් කිහිපයක් මෙලෙස වසරක් ඇතුළතදී මියන්මාරයෙන් ඉවත්වන බවට පසුගිය වසරේදී තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව එරට ක්‍රියාත්මක වූ ප්‍රංශයේ TotalEnergies සමාගමත් මියන්මාරයෙන් ඉවත්වූ අතර, යාධානා ව්‍යාපෘතිය තුළ තිබූ එම සමාගමේ කොටස් අලෙවි කිරීමක්ද සිදු කෙරිණි.

මෙලෙස TotalEnergies සමාගම අලෙවි කළ එම ව්‍යාපෘතියේ කොටස් මිලදී ගැනීමට ෂෙව්රොන් සමාගම කටයුතු කළ අතර, ඒ හරහා එම ව්‍යාපෘතිය සතුවූ සමාගමේ කොටස් හිමිකාරීත්වය 28%ක සිට 41%ක් දක්වා ඉහළ යාම සිදුවිය.

Visits: 141