රුසියාවේ HSE විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සඳහා වන සම්මන්ත්‍රණය අද සවස 4.00 ට

රුසියාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයේ (HSE University) ශිෂ්‍යත්වයක් ලබා ගැනීම සඳහා මෙරට සිසුන් වෙත අවස්ථාව උදා කර දීමට කටයුතු යොදා ඇතැයි කොළඹ පිහිටි රුසියානු මන්දිරය සඳහන් කරයි.

ඒ සඳහා වන සම්මන්ත්‍රණයක් අද (09දා) පස්වරු 4.00ට කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී පූර්ණ ශිෂ්‍යත්වයක් හෝ අධ්‍යයන ගාස්තුවෙන් කොටසක් සඳහා ආධාර මුදලක් ලබා ගැනීමට හැකි ආකාරයෙන් මෙම කටයුතු සිදු වන බව සඳහන් වෙයි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන සම්මන්ත්‍රණය සඳහා රුසියාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කාර්යාලයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ඩීව් සම්බන්ධවීමට නියමිතව තිබේ.

කොළඹ රුසියානු මන්දිරය වෙත පැමිණ මෙම අවස්ථාවට සහභාගි වීමට නොහැකි පිරිස් සඳහා අන්තර්ජාලය ඔස්සේද ඊට සම්බන්ධ විය හැකිය.

ඒ සඳහා https://us06web.zoom.us/j/6741336081?pwd=T1lQTTdVTVkvV1JHYi9tTERyZEVZQT09 ඔස්සේ සම්බන්ධ විය හැකි අතර, Conference ID: 674 133 6081 සහ Password: HSE ලෙස සටහන් කළ යුතු බව කොළඹ රුසියානු මන්දිරය පවසයි.

Forbes Russia සඟරාව මගින් එරට අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කර ඇති රුසියාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලය, එරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාල අතර පවතී. මේ හා සම්බන්ධ වන සිසුන්ට තොරතුරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සහ කළමනාකරණය, ජාත්‍යන්තර සබඳතා, නිර්මාණකරණය සහ තවත් විෂයන් හැදෑරීමේ අවස්ථාවපවතී.

මෙය සම්පූර්ණයෙන්ම රුසියානු රජයේ අරමුදල් මගින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාලයක් වන අතර, එය රුසියාව තුළ මෙන්ම ලෝකයේද ඉහළ පිළිගැනීමට ලක්ව තිබේ.

Visits: 34