අර්බුද නොතකා මහා පරිමාණ කර්මාන්ත රැකගැනීමට ලිට්රෝ අඛණ්ඩ ගෑස් සැපයුමක

ශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් ආනයනකරුවා, සැපයුම්කරුවා සහ දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka Limited – LGLL) විසින්, මෑතකාලීන අර්බුදය තුළත් රටේ ප්‍රධාන කර්මාන්ත, විශේෂයෙන් ඩොලර් උපයන මහා පරිමාණ කර්මාන්ත සවිබල ගැන්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලද බව පවසයි.

එහිදී, රට තුළ පැවති විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ වුවද, අපනයන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සහතික කිරීම වෙනුවෙන්, මූලිකවම B2B (ව්‍යාපාරයෙන් – ව්‍යාපාරයට) අංශය වෙත අඛණ්ඩව සේවා සැපයීමට ලිට්රෝ සමත් විය.

මෙම කාලපරිච්ඡේදය තුළ ලිට්රෝ, සිය අනෙකුත් එකම තරගකරුවාගේ ගනුදෙනුකරුවන් වෙතද පහසුකම් සලසමින්, දේශීය කර්මාන්තවලට ඔවුන්ගේ මෙහෙයුම් අඛණ්ඩව හා කඩිනමින් සිදුකළ හැකි බවට උපරිම අයුරින් සහතික විය.

එමෙන්ම, බාධාවකින් තොරව LP ගෑස් සැපයුමක් සඳහා පහසුකම් සැලසීමට අමතරව, ලිට්රෝ විසින් මෙම කාල සීමාව තුළ සියලුම සැපයුම් සේවා මෙන්ම, තාක්ෂණික සහායද ලබාදෙමින් පාරිභෝගිකයන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලදී.

මෙහිදී, පාරිභෝගික විමසීම් සහ පැමිණිලි සඳහා 1311 ලිට්රෝ ක්ෂණික ඇමතුම් අංකය සහ පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය සතියේ දින හතේම, පැය විසිහතර පුරා (24×7) සක්‍රියව පැවතීමද විශේෂත්වයක් විය.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සමඟ වූ තම අත්දැකීම් පිළිබඳව අදහස් දක්වමින් සෙරමික් සංගමයේ සභාපති සහ මිඩායා සෙරමික් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අනුර යෝෂි වර්ණකුලසූරිය මහතා මෙසේ පැවසීය.

“මෑතකාලීනව රට තුළ උද්ධමනය තිබියදීත් අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කරමින්, මිල අඩු කිරීම් සහ සහන ලබාදීම් පිළිබඳව, සෙරමික් කර්මාන්තය වෙනුවෙන් ලිට්රෝ සමාගමට ප්‍රශංසා කිරීමට කැමතියි. මේ තීරණාත්මක සන්ධිස්ථානය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට මෙන්ම, ගෝලීය වශයෙන් තරගකාරීව සිටීමට අපගේ කර්මාන්තයට මෙය මහෝපකාරී වුණා. එහිදී කොන්දේසි විරහිතරව සහයෝගය දක්වමින් කර්මාන්තය රැකගැනීමට ලිට්රෝ ඉදිරිපත් වීම ගැන මා පුද්ගලිකවම ඔවුන්ට ස්තූතිය පුදකර සිටිනවා. නැව්ගත කිරීමේ ප්‍රමාදයන් සහ වෙනත් ආකාරයකින් යථාතත්ත්වයට පත්වීමට නොහැකි ලෙස අපව අඩපණ කළ හැකිව තිබූ විවිධ ගැටලු කළමනාකරණය කිරීමට සහ අවම කිරීමටද ලිට්රෝ සහාය උපකාරී වුණා. ඉදිරියේදීත් ඔවුන් නිසි කලට මැදිහත් වී අපනයනකරුවන් ආරක්ෂා කරනු ඇතැයි කියා අප බලාපොරොත්තු වෙනවා.”

මේ අතර, බිස්කට් සහ රසකැවිලි නිෂ්පාදනයේ නියැලී සිටින, ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ (LCMA) සභාපති එස්.එම්.ඩී.සූරියකුමාර මහතාද ලිට්රෝ සමාගමට සිය ස්තුතිය පුදකර සිටියේ, එවකට පැවති ගෑස් හිඟය මධ්‍යයේ වුවද සිය ව්‍යාපාරයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලබාදුන් සහයෝගය සිහිපත් කරමිනි.

“ගෑස් සඳහා වූ විකල්පයන් මිල අධික මෙන්ම, තිරසාර නොවන බැවින් රසකැවිලි කර්මාන්තය බොහෝ දුරට LP ගෑස් මත රඳා පවතිනවා. ගෑස් සැපයුමේ සීමාවන් මධ්‍යයේ වුවත් කර්මාන්තයට ප්‍රමුඛත්වය ලබාදී ඒවා සපයන බවට වගබලා ගැනීම සඳහා අපත් සමග සමීපව කටයුතු කිරීම පිළිබඳව අපි ලිට්රෝ සමාගමට ප්‍රශංසා කරනවා. මේ නිසා අපේ කර්මාන්තය මෙන්ම, එහි සේවයේ නියුතු දහස් ගණනකගේ රැකියාවන්ද ආරක්ෂා වුණා. 2022 විවිධ හැලහැප්පීම්වලට ලක්වූ වසරක් වුණත්, රසකැවිලි අංශය තරගකාරීව සිටීමට සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් නොවරදවාම ඉටු කිරීමට සමත් වී තිබෙනවා.”

ගෝලීය වසංගතයෙන් පසුව සහ මෑත ඉතිහාසයේ දරුණුතම අර්ථික අවපාතයක් අතරතුර අපනයන ඇතුළු රටේ වැදගත් කර්මාන්ත කිහිපයකට ලිට්රෝ විසින් තීරණාත්මක සහාය ලබාදෙන ලදී. මේ අඛණ්ඩ සහයෝගය නිසා බොහෝ කර්මාන්තයන්ට උපරිම මට්ටමින් නොවූවත්, ගැටලුකාරී තත්වය මධ්‍යයේ වුවද පෙර නොවූ විරූ ජවයක් ලබා ගැනීමට හැකිවිය.

මෙහි වඩාත් සුවිශේෂීම කාරණය වන්නේ, 2021/22 කෝවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේදී LP ගෑස් මිල ඉහළ නොදැමීම හේතුවෙන් ඇති වූ රුපියල් බිලියන 1.1ක අලාභයද අවශෝෂණය කර ගනිමින්, අඛණ්ඩ ගෑස් සැපයුමක් සඳහා පහසුකම් සැලසීම සහ ඒ සියල්ල අතරතූර මිල ස්ථායීතාව පවත්වා ගැනීමද ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ගන්නා ලද මෙම ප්‍රයත්නයන්ට ඇතුළත් වීමය.

Visits: 98