සියැට්, IATF 16949 ජාත්‍යන්තර සහතිකකරණය දිනූ ශ්‍රී ලංකාවේ පළමු ටයර් නිෂ්පාදකයා බවට පත්වෙයි

සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් සහ සැපයුම් දාම කාර්යක්ෂමතාවයෙන් යුක්ත බව තහවුරු කරමින් සමාගමේ කර්මාන්ත ශාලා තුනක් IATF 16949 ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණය අත්කර ගෙන තිබේ.

මෙවැනි ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණයකින් පිදුම් ලැබූ ශ‍්‍රී ලංකාවේ පළමු ටයර් නිෂ්පාදන සමාගම් සමූහය බවට සියැට් කැළණි සමූහය පත්වී තිබේ.  

මෙම සහතිකකරණය මගින් ආවරණය වන්නේ සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර්ස් (පුද්) සමාගම, සියැට් කැළණි රේඩියල්ස් (පුද්) සමාගම සහ ඇසෝසියේටඞ් සියැට් (පුද්) සමාගම යන කර්මාන්ත ශාලා ත‍්‍රිත්වයයි. මීට අමතරව මෙම කර්මාන්ත ශාලාවලට සහය සේවා ලබාදෙන සියැට් කැළණි ප‍්‍රධාන කාර්යාලය මෙන්ම ඉන්දියාවේ සියැට් පර්යේෂණ හා සංවර්ධන (R&D) මධ්‍යස්ථානය මෙම සහතිකය මගින් ආවරණය කර ඇත.

ඉන්ටර්නැෂනල් ඔටෝමෝටිව් ටාස්ක් ෆෝර්ස් (IATF) වෙතින් ප‍්‍රදානය කරන IATF 16949 නැමති මෙම සහතිකකරණය රථ වාහන ක්ෂේත‍්‍රයේ ගුණාත්මක කළමනාකරණ පද්ධති ප‍්‍රමිතිකරණයක් වන අතර එමගින් සියැට් ශ‍්‍රී ලංකා සමූහය ඉහළ ප‍්‍රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන කිරීමේ අවශ්‍යතා සම්පූර්ණ කර ඇතැයි සහතික කරනු ලබයි. මෙහිදී, නිෂ්පාදන දෝෂ වැලැක්වීම සහ සැපයුම් දාමයේදී අපතේ යෑම් අඩුකිරීම කෙරෙහිද අවධානය යොමුකර තිබේ.

රථවාහන සහ අමතර කොටස් නිෂ්පාදන සමාගම් වලට අදාළ වන මෙම සහතිකකරණය මගින් එම ආයතනවල පාරිභෝගිකයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරන ආකාරයද සහතික කරනු ලබයි. මෙම සහතිකකරණය සඳහා සුදුසුකම් ලැබීමට සියැට් ශ‍්‍රී ලංකා සමාගමට ISO 9001:2015 සහ IATF 16949:2016 ගුණාත්මක කළමනාකරණ පද්ධති අවශ්‍යතාවයන් අනුගමනය කිරීමට සිදුවිය.   

IATF 16949 සහතිකකරණය දිනාගැනීම පිළිබඳව සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ පැවසීය. ‘IATF සහතිකකරණ ලබාගැනීමේ ක‍්‍රියාවලියෙන් සියැට් සමාගම වාහන ක්ෂේත‍්‍රයේ පවතින සහ නව ප‍්‍රමිති අවශ්‍යතාවයන් සපුරන අතරම පාරිභෝගික තෘප්තිය වැඩිකරමින් නිෂ්පාදන අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ලබාදෙන ප‍්‍රමුඛත්වය විදහා දක්වනවා. මෙම සහතිකකරණය ලබාගැනීම තුළින් ලොව පුරා වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment Manufacturer) නිෂ්පාදකයෙකු වීමට සියැට් කැළණි සතු හැකියාව සහතික කරනවා.’  

ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

Visits: 47