තිරසාරභාවය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට Varun Beverages සහ PepsiCo ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ දියත්කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන Varun Beverages Lanka Pvt Ltd සමාගම සිය ස්වේච්ඡා EPR (Extended Producer Responsibility) වැඩසටහන යටතේ  ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ නමින් ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ, භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල PET බෝතල් එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කිරීම සිදු කෙරිණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට Eko Plasco (Pvt) Ltd සහ Negombo Recycling Club විසින් සිය දායකත්වය දක්වයි.

අද වනවිට එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වන්නේද Varun Beverages Lanka Pvt Ltd සමාගමයි.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොටුව දුම්රිය ස්ථානයේ දී පැවැත්වුණු අතර, මරදාන සිට අලුත්ගම දක්වා සෑම දුම්රිය ස්ථානයකටම PET බෝතල් එකතු කිරීමේ බඳුන් ලබා දීම එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙහි, Varun Beverages Lanka හි, Eko Plasco (Pvt) Ltd හි සහ Negambo Recycling Club MRF Site හි ප්‍රධාන නිලධාරීන් රැසක් සහභාගී වූ අතර ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ද සහභාගී විය.

‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Varun Beverages Lanka Pvt Ltd හි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය.  “අපගේ ස්වේච්ඡා EPR වැඩසටහන යටතේ  දියත් කරන ලද ව්‍යාපෘතියක් වන ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ තුලින් සමාගමක් වශයෙන් අපට රට වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. දුම්රිය ස්ථානවල මෙම බඳුන් හරහා එකතු කර ගන්නා භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යවනු ලබනවා. මෙමගින් දුම්රිය ස්ථාන පිරිසිදු වීම පමණක් නොව ප්ලාස්ටික් දූෂණයෙන් පරිසරය සුරැකීම ද සිදු වෙනවා.”

“ආර්ථික අර්බුදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැඩි අසීරුතාවයකට පත්ව සිටින මෙම කාලසීමාව තුළ මෙම වටිනා ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව Varun Beverages Lanka වෙත අපගේ ප්‍රණාමය පුද කරනවා.. ඒ වගේම අපි රටේ අනෙකුත් සංවිධානවලටත්  ආරාධනා කරනවා Varun Beverages Lanka විසින් සිදු කරන ආකාරයේ ව්‍යාපෘති ආරම්භ කරන්න කියලා.” ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

මෙම ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ EPR මුලපිරීම තුලින්, Pepsi විසින් භාවිතා කරන ලද PET/ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් පරිසර දූෂණය අවම කිරීමටත්, එම බෝතල් නිවැරදිව බැහැර කිරීම සම්බන්ධයෙන් දුම්රිය මගීන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වේ.

Visits: 62