සිලෝන් බෙවරේජ් රු. 23ක ලාභාංශ නිවේදනයත් සමගින් කොටසක් රු. 1000 ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී (BREW.N0000) සමාගම මගින් ඊයේ සිදු කළ නිවේදනයකට අනුව සිය කොටස් හිමිකරුවන් සඳහා කොටසකට රුපියල් 23.00ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව අනාවරණය කළේය.

ඒ අනුව මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සමාගම සඳහන් කර තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන පෙබරවාරි 16 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස (XD Date) ලබන ජනවාරි 27 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භවී පළමු පැය දෙක ඇතුළතදී සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 1099.75ක් ලෙස සටහන්ව තිබුණි.

මෙය  පෙර දිනයේදී එම සමාගමේ කොටසක වටිනාකම වූ රුපියල් 900.00 ට සාපේක්ෂව රුපියල් 199.75ක එනම් 22.19෴ක ඉහළ යාමකි.

සුප්‍රසිද්ධ ලයන් බියර් ඇතුළුව වෙළෙඳ පොළේ පවතින බියර් සන්නාම රැසකම හිමිකරුවා වන්නේ සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි.

අද වනවිට එම සමාගමෙහි සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනය රුපියල් බිලියන 23ක් (23,081,651,977.50ක්) ලෙස සටහන්ව තිබේ.

2022 මාර්තු 31 වැනිදා වන විට එම සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 75%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගමටයි.

Visits: 85