ශ්‍රී ලංකාව පසුගිය වසර අටේදී ලබාගෙන ඇති විදේශ ණය ඩොලර් බිලියන 29.9 ඉක්මවයි

2015 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31 දක්වා ගත වූ වසර අටක කාලයකදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලින්, විදේශ නියෝජිත ආයතනවලින් හා බැංකුවලින් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 29,992ක් (බිලියන 29.9ක්) වන බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී මෙම කරුණු අනාවරණය කර තිබේ.

එසේම මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකා රජය ලබා ගෙන ඇති විදේශ ප්‍රදාන ප්‍රමාණයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 349ක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

මෙම මුදල් රජය විසින් එක් එක් ආයතන සමග ගිවිසුම්ගත වූ විදේශ ණය/ප්‍රදානවලට අදාළව අදාළ කාලසීමාව තුළදී උපයෝජනය සඳහා ලද විදේශ අරමුදල් ප්‍රමාණයන් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

එසේම එම ණය හා ආධාර, ඒවා ලබා ගත් නිශ්චිත අරමුණු වෙනුවෙන් භාවිතා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Visits: 102