ජැක් මා Ant Group හි පාලනය අත්හැරිමට සැරසෙයි

සුප්‍රසිද්ධ Alibaba සමූහයේ නිර්මාතෘවරයා වන චීන ජාතික ජැක් මා සිය ෆින්ටෙක් සමාගම වන Ant Group හි පාලනය අත්හැරීමට සූදානමින් සිටින බව වාර්තා පවසයි.

එම සමාගමෙහි පරිපාලනයේ සහ කොටස්හිමිකාරීත්වයේ සිදු කරන වෙනසත් සමගින් ඔහු මෙලෙස එම පාලනයෙන් ඉවත් වීමට සැලසුම් කර තිබේ.

අද වනවිට මෙම Ant Group සමූහය මගින් ක්‍රියාත්මක Alipay සේවාව චීනය තුළ ප්‍රධානතම අන්තර්ජාල ගෙවීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වන අතර, ඒ හරහා මුදල්, චෙක්පත් මෙන්ම ක්‍රෙඩිඩ් කාඩ්පත් ගනුදෙනුද සිදුකළ හැකිය.

ජැක් මා විසින් ආරම්භ කරන ලද ඉ-වානිජ සමාගමක් වන Alibaba සමාගම වෙත Ant Group හි 50෴ක ඍජු සහ වක්‍ර කොටස් හිමිකාරීත්වයක් පවතී.

මෙහිදී ජැක් මා සතුව මෙන්ම ජැක් මා සම්බන්ධවී සිටින ආයෝජකයන් කණ්ඩායමක් හරහා මෙම කොටස් හිමිකාරීත්වය පවත්වාගෙන ඒම සිදුවිය.

කෙසේ වෙතත් ඉදිරියේදී සැලසුම් කර ඇති මෙම කොටස්හිමිකාරීත්වයේ වෙනස්කම් ඇතුළු කාරණාත් සමගින්ම ජැක් මා සතුව Ant Group හි ඇති කොටස්හිමිකාරීත්වය 6෴ක් බවට පත්වනු ඇතැයි සඳහන් වෙයි.

ජැක් මා ගේ මෙම Ant Group සමාගම 2020 වසරේදී එරට කොටස් හුවමාරුව තුළ ඩොලර් බිලියන 37ක් වටිනා මූලික මහජන කොටස් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කළ අතර, එය එතෙක් මෙතෙක් ලොව සිදු වුණු දැවැන්තම මූලික මහජන කොටස් නිකුතුව ලෙස සැලකුණි. එහෙත් චීන රජයේ මැදිහත්වීමෙන් එය අවසන් මොහොතේදී අත්හිටුවුණි.

එසේම චීනයේ මූල්‍ය වෙළෙඳ පොළ තුළ Ant Group සතුව තිබූ ඒකාධිකාරය සහ බලපෑම පිළිබඳව රජයේ විමර්ශණයක්ද ආරම්භ කෙරිණි. මේ අතර ජැක් මා විසින් චීන රජයේ පැවැති ක්‍රියාකාරීත්වය දැඩි ලෙස විවේචනය කළ අතර, ඒ සමගම ඔහුට එල්ල වූ බලපෑම්ද සමගින් මාස ගණනාවක් යනතුරුම ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඈත්ව සිටියේය.

චීන රජයේ මූල්‍ය වෙළෙඳ පොළ නියාමකයන් විසින් මෙම Ant Group සමාගම සම්බන්ධයෙන් වසර දෙකක් පුරා සිදු කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම සමාගමට එරෙහිව ඩොලර් බිලියන 1කට වඩා අධික දඩ පැමිණවීමක් සිදු කිරීමටද යොමු විය.

ජැක් මා විසින් මෙලෙස Ant Group හි පාලනය අත්හැරීමත් චීන රජයේ නියාමකයන් විසින් ලබාදෙන ලද උපදෙස් වෙත අනුකූලතාවක් දැක්වීමක් සඳහා සිදුකරන පියවරක් ලෙසද සැලකෙයි.

Visits: 141