කොටස් මිලියන 105ක් මිලදී ගත් දිල්ෂාන් ප්‍රනාන්දු Tess Agro සභාපති පුටුවට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Tess Agro PLC සමාගමෙහි (TESS.N0000) නව සභාපතිවරයා ලෙස දිල්ෂාන් ප්‍රනාන්දු මහතා පත් කෙරී ඇතැයි එම සමාගම පවසයි.

පසුගිය ජනවාරි 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. මෙම පත් කිරීම සිදුවන අවස්ථාව වනවිට ඒ මහතා වසර 30කට ආසන්න කාලයක් Tess Agro PLC සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියේය.

මෙතෙක් එම සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ සිති ෆායිකා ප්‍රනාන්දු මහත්මිය එම ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව හිස් වුණු ධුරය සඳහා මෙම නව පත් කිරිම සිදුකර තිබේ.

මෙලෙස Tess Agro PLC හි නව සභාපතිවරයා ලෙස පත්වීම් ලබන අවස්ථාව වනවිට දිල්ෂාන් ප්‍රනාන්දු මහතා සතුව එම සමාගමෙහි කොටස් අතරින් ඡන්ද හිමි කොටස් 106,582,667ක් සහ නිෂ්ඡන්ද කොටස් 78,676ක් පැවැති බව සමාගම සඳහන් කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදා දිනයේදී දිල්ෂාන් ප්‍රනාන්දු මහතා විසින් එම සමාගමෙහි ඡන්ද හිමි කොටස් අතරින් කොටස් 105,790,298ක් මිලදී ගැනීමත් සමගින්ම ඔහු සතුව ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව මේ මට්ටම දක්වා ඉහළ යාමක් සිදුවිය.

Tess Agro PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශිරාන් ප්‍රනාන්දු මහතා විසින් තමන් සතුව තිබූ කොටස් 105,790,298ක් මෙලෙස අලෙවි කිරීම සිදු විය. එහිදී කොටසක වටිනාකම රුපියල් 1.00ක් ලෙස සටහන් විය.

මෙම කොටස් මිලදී ගැනීමත් සමගින්ම දිල්ෂාන් ප්‍රනාන්දු මහතා සතුව ඇති කොටස් ප්‍රතිශතය සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් 20.83%ක ප්‍රතිශතයකි.

මේ අතර සභාපති ධුරයෙන් ඉවත්ව යන සිති ෆායිකා ප්‍රනාන්දු මහත්මිය තවදුරටත් Tess Agro PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරනු ඇතැයිද සඳහන් වෙයි.

Tess Agro PLC සමාගම මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ ටින්කළ මාලු නිෂ්පාදනය කර මෙරට වෙළෙඳ පොළට මෙන්ම අපනයන වෙළෙඳ පොළ වෙතද නිකුත් කරන සමාගමකි.

Visits: 288