Uber ශ්‍රී ලංකාවේ සත්වැනි වසර සපුරයි : ගමන් වාර වල මුළු දුර කිලෝමීටර් මිලියන 55 පසුකරයි

Uber ශ්‍රී ලංකාවේ වසර 7 ක කාලයක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් මෙතෙක් අත්කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමකින් යුත් සංඛ්‍යාලේඛනමය තොරතුරු කිහිපයක් පසුගියදා අනාවරණය කළේ ය.

එම වාර්තා වලට අනුව, ශ්‍රී ලංකාවේ Uber ගමන් වාර වල මුළු දුර කිලෝ මීටර් මිලියන 55 පසුකර ඇති අතර, මෙය පෘථිවියේ සිට චන්ද්‍රයා වෙත වාර 725 ක් යාමට හා ඒමට සමාන වේ.

මේ වනවිට රියදුරන් 150,000 කට අධික පිරිසක් Uber සමග අත්වැල් බැඳගෙන සිටින අතර, Uber සේවාවන් භාවිතා කර ඇති මගීන් සංඛ්‍යාව මිලියන 2 කට අධික ය.

2015 වසරේදී තම සේවාවන් මෙරටට හඳුන්වා දීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් ගමනාගමනයේ යෙදෙන ආකාරය පූර්ණ පෙරළියකට ලක්කිරීමට Uber සමත් වූ අතර, මේ වනවිට නගර අතර ගමන් කිරීම සඳහා ‘Intercity’ සේවාව, ස්ථාන කිහිපයක නවතිමින් පැය කිහිපයක් ගමනේ යෙදීම සඳහා ‘Rentals’ සේවාව, සහනදායී ලෙස ගමන් බිමන් යාම සඳහා ‘Tuk’ හා ‘Moto’ සේවාවන්, සහ පාර්සල් යැවීම සඳහා ‘Connect’ සේවාව වැනි විශේෂ සේවාවන් රැසක්ද හඳුන්වා දී ඇත.

මෙම සන්ධිස්ථානයක් සැමරීමක් වශයෙන්, තම සාර්ථකත්වයට දායක වූ රියදුරන් පිරිසක් ඇගයීමට ලක්කිරීමට Uber කටයුතු කළේ ය. ඒ අනුව Uber සේවාවට වැඩිම දායකත්වයක් ලබාදුන් රියදුරන් 7 දෙනෙකුට කුසලාන සහ රු, 35,000 ක් වටිනා තෑගි කට්ටලයක් බැගින් පිරිනමන ලදි.

“ශ්‍රී ලංකාවේ වසර 7 ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. Uber මෙරට මගීන්ගේ සහ රියදුරන්ගේ ප්‍රියතම තේරීමක් බවට පත්වීම අපට මහත් සතුටක්. Uber දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීම සඳහා අප සමග අත්වැල් බැඳගෙන සිටින රියදුරන් ඉටුකළ මෙහෙවර සුළුපටු නැහැ. ඉදිරියටත් නවීනතම තාක්ෂණයන් සමගින් විශිෂ්ටතම පහසුකම් හා සේවාවන් ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කරවීමට අප සූදානම්.” Uber Rides මෙරට ප්‍රධාන කළමනාකාරිනී තනුෂිකා සිවනාදන් මහත්මිය පැවසුවා ය.

එක්සත් රාජධානිය පදනම් කරගත් සමීක්ෂණ සමාගමක් වන Public First මගින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකින් පෙනී ගියේ, ශ්‍රී ලාංකික මගීන් අතරින් 91% ක්ම, Uber භාවිතා කිරීමේදී වඩාත්ම වැදගත් සාධකය ලෙස සලකන්නේ එමගින් ලැබෙන පහසුව බවයි. Uber නිසා මගීන්ට වසරකට පැය මිලියන 3.7 ක තරම් කාලයක් ඉතිරි වන බවට ගණන් බලා ඇත.

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව ප්‍රවාහනය සම්බන්ධයෙන් අත්විඳි දැවැන්තම පෙරළිය වන්නේ Ridesharing ක්‍රමවේදයයි. 2021 වසරේදී පමණක් Uber මෙරට ආර්ථිකය වෙනුවෙන් නිර්මාණය කළ වටිනාකම රු. බිලියන 81 ක් පමණ වේ. මීට Uber සමග එක්ව ධාවනයේ යෙදෙන්නෙන් උපයන මුදල් මෙන්ම, සමාගමේ ව්‍යාපාරික කටයුතු සමග සම්බන්ධ වන අනෙකුත් පාර්ශ්වයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්ද ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ Ridesharing ක්‍රමවේදයේ පුරෝගාමියෙකු වන Uber, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂාංග රැසක්ද හඳුන්වා දී ඇත. ‘Share my trip’ ඔස්සේ මගීන්ගේ GSP location වෙනත් පුද්ගලයන් වෙත දැන්වීමට අවස්ථාව සලසා දීම, ‘RideCheck’ ඔස්සේ ගමන් වල අසාමාන්‍යතා හඳුනා ගැනීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සඳහා ‘phone anonymization’ හරහා පෞද්ගලික දුරකථන අංක ආවරණය කිරීම සහ, ‘split fare’ ඔස්සේ ගමන් ගාස්තුව බෙදාගැනීමට මගීන්ට අවස්ථාව සලසා දීම ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

Visits: 67