ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රැකියා අවස්ථා 550ක්

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA) සමඟ එක්ව, ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් සඳහා ස්ථිර රැකියා ඇණවුමක් ලබා ගැනීමට සමත් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

තානාපති මහින්ද සමරසිංහ මහතා ෆ්ලොරිඩාහි කර්ම සර්විසස් එල්එල්සී ආයතනය සමග සම්බන්ධවී, එම ආයතනය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර ගිවිසුමක් ඇති කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස මෙම රැකියා අවස්ථා හිමිව තිබේ.

මෙහිදී ලියාපදිංචි හෙදියන් 250ක්, රසායනාගාර කාර්මික ශිල්පීන් 100ක් සහ හෙද සහායකයින් 200ක් සඳහා එක්සත් ජනපදයේ රැකියා ලබා ගැනීමේ අවස්ථාව සැලසී ඇතැයි වොෂිංටන් ඩී.සී.හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ රාජ්‍ය අනුබද්ධිත ආයතනයක් වන අතර එමගින් දේශීය වශයෙන් මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමඟ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් රැකියා අවස්ථා පුළුල් කරගැනීමේ සාකච්ඡාවල නිරතවී සිටින බවත් තානාපති කාර්යාලය සඳහන් කර සිටියි.

Visits: 193