පොළී අනුපාත පහළයෑමකට කල්ගත වුවහොත් ඊට මැදිහත් වන බව මහ බැංකුව කියයි

මුදල් වෙළෙඳ පොළ ද්‍රවශීලතාවයේ සිදුවන වැඩිදියුණුවීමත් සමගින්ම ඉදිරි කාලයේදී වෙළෙඳ පොළ පොළී අනුපාතික ව්‍යුහයේ (තැන්පතු සහ ණය පොලී අනුපාතික) පහළ යෑමක් අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව පවසයි.

2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව පවසා සිටියි. ඒ යටතේ මුදල් ප්‍රතිපත්තිය සහ පොලී අනුපාතික යටතේ කරුණු දක්වමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි.

විශේෂයෙන්ම මූල්‍ය ආයතන අතර තැන්පතු රැස් කිරීම සඳහා පැවැති දැඩි තරගකාරීත්වය හේතුවෙන් ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල ගැලපීම් අභිබවා වෙළෙඳ පොළ පොලී අනුපාතික ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

එහිදී මෙවැනි අහිතකර තරගකාරීත්වයන් වළක්වා ගන්නා ලෙස දැනටමත් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් මහ බැංකුව ඉල්ලා ඇතැයිද පවසයි.

කෙසේ වෙතත් මහ බැංකුව අපේක්ෂා කරන මෙම තැන්පතු සහ ණය පොලී අනුපාතික පහළ යෑම සඳහා වැඩි කාලයක් ගත වන්නේ නම් මහ බැංකුව සුදුසු පරිදි නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලනු ඇතැයිද මෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර මූල්‍ය අංශය යටතේ ඉදිරි දැක්ම පිළිබඳව සඳහන් කර ඇති මහ බැංකුව ඉදිරියේදී ඇතිවිය හැකති අවදානම්වලට මුහුණදීම සඳහා බැංකු අංශයේ ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා මට්ටම් ආරක්ෂා කරගැනීමට ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් දැනට පවතින නියාමන සමාලෝචනය කිරීමටද පියවර ගන්නා බව මහ බැංකුව පවසයි.

එසේම රජය සහ බැංකු අතර පවතින ණය සම්බන්ධතාව සීමා කිරිම සඳහා තනි ගැනුම්කරුවෙකු කෙරෙහි වන නිරාවරණ සීමා පිළිබඳ දැනට පවතින නියාමන සමාලෝචනය කරනු ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 231