රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් රු.35ක ලාභාංශ නිවේදනයත් සමගින්ම කොටසක් රුපියල් 50කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගම (REXP.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා එක් කොටසකට රුපියල් 35ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව පසුගියදා නිවේදනය කළේය.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දින ලෙස 2023 පෙබරවාරි 06 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස 2023 ජනවාරි 17 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර එම ලාභාංශ ගෙවීමේ තීරණයෙන් පසුව ක්‍රියාත්මක වූ පළමු කොළඹ කොටස් හුවමාරු ගනුදෙනු දිනය වූ ඊයේ දිනයේදී ගනුදෙනු අවසානයේදී රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 631.50ක් ලෙස සටහන්ව තිබුණි.

මෙය පෙර දිනයේදී එම කොටසක වටිනාකම වූ රුපියල් 580.75කට සාපේක්ෂව රුපියල් 50.75ක් එනම් 8.74%ක ඉහළ යාමකි.

එසේම එක් අවස්ථාවකදී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 660.00ක් දක්වාද ඉහළ යාමක් දැකගත හැකි විය.

රිචර්ඩ් පීරිස් සමූහයට අයත් සමාගමක් වන රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට් පීඑල්සී සමාගම මූලිකවම රබර්/පොලිමර් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත සැපයීම සිදු කරන සමාගමකි.

ඒ අනුව එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩොලර් ආදායම් උත්පාදන සමාගම් අතර පවතින සමාගමකි.

සමාගමේ සමස්ත කොටස් අතරින් 9,366,027ක් එනම් 83.90%ක හිමිකාරීත්වයක් පවතින්නේ රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමටයි.

Visits: 169