යාන් කුනිග් INSEE Cement සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය මෙන්ම තායිලන්තයේ Siam City Cement Public Company Limited (SCCC) හි සාමාජිකයෙකු වන INSEE Cement සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස යාන් කුනිග් මහතා පත්කර ඇතැයි නිවේදනය කර සිටියි.

2023 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන මෙම පත්වීම සිදු කර තිබේ. මීට පෙර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නන්දන ඒකනායක මහතා එම තනතුරෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුරට මෙලෙස යාන් කුනිග් මහතා පත්කර තිබේ.

ඒකනායක මහතා මින් ඉදිරියට සමාගමේ සභාපති වරයා ලෙස කටයුතු කරනු ඇතැයිද INSEE Cement සමාගම පවසයි.

2017 වසරේදී විධායක උප සභාපති ලෙස INSEE Cement Sri Lanka සමාගමට එක්වූ යාන් කුනිග් මහතා එහි වාණිජ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරමින්, අලෙවි, විකුණුම්, නිෂ්පාදන හා විසඳුම්, නවෝත්පාදන සහ බාහිර කටයුතු සම්බන්ධ වගකීම් දැරී ය.

නව තනතුර ඔස්සේ, කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස INSEE Cement සමාගම තවදුරටත් ශක්තිමත් කරමින්, ක්ෂේත්‍රය මේ වනවිට මුහුණ දී සිටින ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන අතරම, තිරසාර හා පරිසර හිතකාමී දේශීය ඉදිකිරීම් විසඳුම් හඳුන්වා දීම සඳහා සමාගම දරන උත්සාහය තවදුරටත් පුළුල් කරමින්, වේගයෙන් දියුණු වන ඉදිකිරීම් කර්මාන්තය තුළ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදන වලට අමතරව පවතින නව අවස්ථා ගවේෂණය කිරීමට කුනිග් මහතා කටයුතු කරනු ඇත.

ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තයේ අත්දැකීම් බහුල ප්‍රවීණ වෘත්තිකයෙකු වන කුනිග් මහතා, මීට පෙර ස්විට්සර්ලන්තය පදනම් කරගත් Holcim සමූහ ව්‍යාපාරය තුළ තනතුරු රැසක් දරා තිබේ.

එම සමූහයේ දකුණු ආසියානු/ ASEAN කලාපයේ ප්‍රධානී (ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන) ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්දුනීසියාවේ Holcim සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරමින්, එම සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනයේ ආදායම් සීමාව පසුකිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබාදුන්නේ ය.

Holcim සමූහයට එක්වීමට පෙර කළමනාකරණ උපදේශන කටයුතු වල නිරත වූ කුනිග් මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ Western Illinois University වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, ජර්මනියේ Bamberg University වෙතින් යුරෝපීය ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධ ඩිප්ලෝමාවක් (Diplom Kaufmann) හිමිකරගෙන තිබේ. එමෙන්ම ඒ මහතා IMD Lausanne (ස්විට්සර්ලන්තය) සහ Chicago Booth School of Business (ඇමරිකා එක්සත් ජනපදය) යන ආයතන වල විධායක කළමනාකරණ වැඩසටහන් වලට සහභාගී වී ඇත.

Visits: 57