හේලීස් සමූහයේ සමාගම් 06ක ලාභාංශ නිවේදනයෙන් පසුව කොටස් වටිනාකම් ඉහළට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමූහයක් වන හේලීස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සිය කොටස් හිමිකරුවන් සඳහා වන ලාභාංශ ගෙවීමක් පිළිබඳව ඊයේ දිනයේදී අනාවරණය කළේය.

ඒ අනුව හේකාර්බ් පීඑල්සී සමාගම (HAYC.N0000) රුපියල් 1.50ක, තලවාකැලේ ටී එස්ටේට් පීඑල්සී සමාගම (TPL.N0000) රුපියල් 5.00ක, හේලීස් ෆයිබර් (HEXP.N0000) රුපියල් 1.00ක, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී (DIPD.N0000) රුපියල් 1-00ක, හේලීස් ෆැබ්රික් පීඑල්සී (MGT.N0000) රුපියල් ශත 20ක සහ කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (KVAL.N0000) රුපියල් 3.00ක යනාදී ලෙස මෙම ලාභාංශ ගෙවීමට තීරණය කර තිබේ.

මෙය 2023 මාර්තු 30 වැනිදායින් අවසන් වන  2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද එම සමාගම් සඳහන් කරයි.

මෙහිදී ඉහත සඳහන් සමාගම් සියල්ලගේම ලාභාංශ නොගෙවන දිනය (XD Date) ලබන ජනවාරි 11 වැනිදා ලෙස නම් කෙරී තිබේ. ලාභෘංශ ගෙවීම් ජනවාරි 20 සිට 25 දක්වා අතර කාලයේදී සිදු වෙයි.

කෙසේ වෙතත් මෙම කිසිදු ලාභාංශ ගෙවීමේ තීරණයක් සම්බන්ධයෙන් එම සමාගම්වල කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් එම සමාගම් සියල්ලම සඳහන් කරයි.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ නිවේදනයත් සමගින්ම ඊයේ (30දා) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී මෙම සමාගම් සියල්ලගේම කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබී තිබේ.

ඒ අනුව හේකාර්බ් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 57.60ක් ලෙස පෙර දිනයේ පැවැති 55.70ට සාපේක්ෂව රුපියල් 1.90ක එනම් 3.41%ක ඉහළ යාමක් සටහන්ව තිබේ.

තලවාකැලේ ටී එස්ටේට් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 97.80ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයේදී පැවැති රුපියල් 92.10ට සාපේක්ෂව රුපියල් 5.70ක එනම් 6.19%ක ඉහළ යාමකි.

හේලීස් ෆයිබර් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 56.80ක් බවට පත්ව තිබූ අතර එය පෙර දිනයේ පැවැති රුපියල් 56.00ට සාපේක්ෂව ශත 80ක එනම් 1.43%ක ඉහළ යාමකි.

ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 29.10ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ පැවැති රුපියල් 27.80ට සාපේක්ෂව රුපියල් 1.30ක එනම් 4.68%ක ඉහළ යාමකි.

හේලීස් ෆැබ්රික් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 22.60ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 22.50ට සාපේක්ෂව ශත 10ක එනම් 0.44%ක ඉහළ යාමකි.

අවසන් වශයෙන් කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 81.70ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 79.30ට සාපේක්ෂව රුපියල් 2.40ක එනම් 3.03%ක ඉහළ යාමකි.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ නිවේදනය තුළ හේලීස් පීඑල්සී (HAYL.N0000) සහ හේලීස් ලෙෂර් පීඑල්සී (CONN.N0000) යන සමාගම් ඇතුළත්ව නොතිබුණි.

එහෙත් ඊයේ දිනය අවසානයේදී හේලීස් පීඑල්සී කොටසකවටිනාකම රුපියල් 68.00ක් ලෙස පෙර දිනයට සාපේක්ෂව ශත 70කින් හෙවත් 1.04%කින් සහ හේලීස් ලෙෂර් කොටසක වටිනාකම රුපියල් 21.10ක් ලෙස පෙර දිනයට සාපේක්ෂව රුපියල් 1.10 ක එනම් 5.50%ක ඉහළයාමක් පෙන්නුම් කර තිබුණි.

මේ අතර 2022 වසරේ අවසන් ගනුදෙනු දිනය වූ ඊයේ (30දා) කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් ඉහළ යාමටද හේලීස් සමූහයේ මෙම ලාභාංශ ගෙවීමේ නිවේදනය හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

Visits: 344