මාස 13කදී එලෝන් මස්ක්ට සිය වත්කමින් ඩොලර් බිලියන 200ක් අහිමි වෙලා

Tesla විදුලි මෝටර් රථ සමාගමේ සහ Twitter වැඩසටහනේ වත්මන් හිමිකරුවා වන එලෝන් මස්ක් මෙතෙක් සිය දළ වත්කමින් ඩොලර් බිලියන 200ක් අහිමි කරගත් ලොව පළමු ව්‍යාපාරිකයා ලෙස ඉතිහාසයට එක්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

සිය Bloomberg Billionaire Index දර්ශකයේ අලුත්ම සටහන් පිළිබඳව සඳහන් කරමින් එම වෙබ් අඩවිය මේ පිළිබඳව අනාවරණය කර සිටියි.

ඒ අනුව 2021 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 338ක් ලෙස සටහන්ව තිබූ තිබූ මස්ක්ගේ දළ වත්කම 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට (මාස 13ක කාලයකදී) ඩොලර් බිලියන 132ක් දක්වා එනම් ඩොලර් බිලියන 200කින් පහත වැටී ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී මූලිකවම හේතු වී ඇත්තේ ආසන්න සති කිහිපයේදී ඔහුගේ Tesla සමාගමේ කොටස් වටිනාකම්හි සිදු වූ දරුණු කඩා වැටීමයි. දෙසැම්බර් 27 වැනිදා පමණක් එම කොටස් වටිනාකම 11%කින් පමණ පහත වැටුණි.

මෙම වත්කම් අහිමිවීමත් සමගින්ම වසරකට අධික කාලයක් ඔහු විසින් පවත්වාගෙන ගිය ලොව ධනවතාගේ තැන මෙම මාසය මැදදී මස්ක් වෙත හිමිව තිබූ අහිමි වූ අතර, ප්‍රංශයේ LVMH සුඛෝපභෝගී විලාසිතා ජාලයේ සම නිර්මාතෘවරයෙකු වන  බර්නාඩ් ආර්නෝල්ට් එම ස්ථානයට පත්විය. මීට පෙර එම ස්ථානයේ පසු වූ Amazon සමාගමේ ජෙෆ්බෙසොස් අභිබවමින් මස්ක් එම ස්ථානයට පත්විය.

මෙලෙස මස්ක්ගේ වත්කම් අහිමිවීමට තවත් ප්‍රධානතම හේතුවක් වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහු විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 44ක මුදලකට Twitter වැඩසටහන මිලදී ගැනීමට කටයුතු යෙදීම බවද විචාරකයන්ගේ අදහස වී තිබේ.

එහිදී මස්ක් මෙම මිලදී ගැනීමට අවශ්‍යමුදල් රැස් කරගැනීම වෙනුවෙන් Tesla සමාගම තුළ තමන් සතුව තිබූ සැලකිය යුතු කොටස්  ප්‍රමාණයක් අලෙවි කිරීමක්ද සිදු කළේය. කෙසේ වෙතත් ඉදිරියේදී තමන් තවත් Tesla කොටස් අලෙවියක් සිදු නොකරන බව මස්ක් පසුගියදා පවසා තිබුණි.

මේ අතර 2022 වසරේදී පමණක් මස්ක් ඇතුළුව ලොව ප්‍රධානතම බිලියනපතියන් 500 දෙනෙකු හට ඩොලර් ට්‍රිලියන 1.4ක මුදලක් අහිමිවී ඇතැයිද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි. මෙම පිරිස අතර ජෙෆ් බෙසොස්, මාර්ක් සකර්බර්ග් සහ චීනයේ චැන්ග්බෙන් සාහෝ මෙන්ම ඉන්දියාවේ ගෞතම් අදානි සහ මුකේෂ් අම්බානි යන බිලියනපතියන්ද වන බව පැවසෙයි.

Visits: 192