2021 ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු ඉහළ යෑමක්

2021 වසරේදී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 0.796ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2020 වසරේදී කොවිඩ්-19 වසංගතයේ බලපෑම තීව්‍රව පැවැති වසරේ වාර්තාකළ 0.764ක අගයට සාපේක්ෂව සුළු ඉහළ යෑමක් ලෙස සටහන්ව තිබේ.

මෙම ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය මැනීමේදී මහ බැංකුවෙහි සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් විවිධ අංශ නියෝජනය කරන විචල්‍යයන් 41ක් යොදා ගනිමින් ගණනය කරනු ලබන ආර්ථික සහ ව්‍යාපාර පරිසරය, ජන ජීවිතයේ යහපැවැත්ම සහ සමාජ ආර්ථික යටිතල පහසුකම් යන උපදර්ශක තුනකින් සමන්විත වෙයි.

ඒ අනුව 2021 ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය සඳහා ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය, ජන ජීවිතයේ යහපැවැත්ම සහ සමාජ ආර්ථික යටිතල පහසුකම් යන උපදර්ශකයන් තුනෙහිම වර්ධනය දායක වී ඇතැයිද සඳහන්වෙයි.

මෙහිදී ආර්ථික සහ ව්‍යාපාර පරිසරය යටතේ ආදායම සහ දරිද්‍රතාවය, ජීවන තත්ත්වය, මිල ස්ථායිතාව, සේවා නියුක්තිය, කර්මාන්ත ඝනත්වය, බැංකු ඝනත්වය ඇතුළත් වෙයි. එසේම ජන ජීවිතයේ පැවැත්ම යටතේ සෞඛ්‍ය සත්කාර, අධ්‍යාපනය, වත්කම්, විනෝදාස්වාදය සහ පරිසරය ඇතුළත් වෙයි. මීට අමතරව සමාජ ආර්ථික යටිතල පහසුකම් යටතේ ප්‍රවාහන හා මාර්ග ආවරණය, විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම්, විදුලිය හ ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සහ අපරාධවලින් තොර පරිසරය යනාදිය ඇතුළත් වෙයි.

ඒ අනුව ආර්ථික සහ ව්‍යාපාරික පරිසරයේ අගය 0.825ක් ලෙස සටහන්ව ඇති අතර එය 2020 වසරේදී 0.799ක් ලෙස සටහන්ව තිබුණි. 2020 වසරට සාපේක්ෂ මෙම ඉහළ යෑම සඳහා වෙළෙඳ පොළ මිල අනුව ඒක පුද්ගල දළ දේශීය නිෂෟපාදිතයේ (ද.දේ.නි) ඉහළ යෑම, සේවා නියුක්තිය, වැටුප් සහ කර්මාන්ත ඝනත්වය යන නිර්නායකයන්හි වැඩිදියුණු වීම හේතුවිය. එසේම පසුගිය වසරට සාපේක්ෂව 2021 දී පැවැති ඉහළ උද්ධමනයද මෙම උප දර්ශකයේ වර්ධනයට අහිතකර ලෙස බලපා තිබේ.

එසේම ජන ජීවිතයේ යහපැවැත්ම යන උප දර්ශකයේ අගය 0.786ක් ලෙස සටහන්ව ඇති අතර එය 2020 වසරේදී 0.781ක් ලෙස සටහන්ව තිබුණි. මෙහිදී අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීම සහ මහජනතාවගේ වත්කම් 2020ට සාපේක්ෂව ඉහළ යෑම හේතුව වී තිබේ. එහෙත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩු ඵලදායිතාව, සෞඛ්‍ය නිලධාරීන්ගේ හිඟය යනාදි කරුණු නිසා නිරූපණය වන සෞඛ්‍ය පහසුකම්වල පහළ යෑම, පරිසරයේ පිරිසිදුකම අඩුවීම හා විනෝදාස්වාදන කටයුතුවල නිරතවීම අඩුවීම මෙම උපදර්ශකයේ වර්ධනය අවම වීමට හේතු වී තිබේ.

මීට අමතරව සමාජ ආර්ථික යටිතල පහසුකම් අගය 0.777ක් බවට පත්ව ඇති අතර, 2020දී එය 0.711ක් විය. එහිදී පොදු ප්‍රවාහනය භාවිතය අවම වීම, පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත ජලය සපයා ගැනීමේ හැකියාව අඩුවීම සහ වාර්තාගත අපරාධ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් මෙම උපදර්ශකයේ පහළ යෑමට හේතු වී තිබේ. එහෙත් විදුලිබල හා දුරකතන පහසුකම් වර්ධනය මෙන්ම මාර්ග පද්ධතියේ වැඩිදියුණු වීම එම උපදර්ශකයේ පහළ යෑම මඟහරවා තිබේ.

Visits: 109