වෙළඳපල අධ්‍යයන සිදු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයට ස්විට්සර්ලන්ත සහය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) යටතේ ක්‍රියාත්මක වන ස්විට්සර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහන (SIPPO) සමඟ වෙළඳපල පර්යේෂණ අධ්‍යයනයන් සිදු කිරීමට අදාලඅවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් තබා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්තයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා(Dominik Furgler)සහ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි හි සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා අදාළ ආයතන වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව ලෝක වෙළඳාමට ඒකාබද්ධ කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ තෝරාගත් අපනයන නිෂ්පාදන අංශයන් වන සැකසූ ආහාර, මාළු සහ මුහුදු ආහාර සහ ඇඟලුම් නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපල පර්යේෂණ අධ්‍යයනයන් සිදු කිරීමට ස්විට්සර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහනශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ට පහසුකම් සපයයි.

ස්විට්සර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහනවිසින් අයිස්ලන්ඩ් (Iceland), ලයිචෙන්ස්ටයින් (Liechtenstein), නෝර්වේ (Norway), ස්විට්සර්ලන්තය (Switzerland)ඇතුළු යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ (EFTA) සාමාජික රටවල සහ විශේෂයෙන් තෝරාගත් යුරෝපීයරටවල වෙළඳපල ප්‍රවේශ අවශ්‍යතා පිළිබඳ තොරතුරු ලබාගැන්ම සඳහා ජාත්‍යන්තර විශේෂඥයින් හරහා මෙම වෙළඳපල පර්යේෂණ අධ්‍යයනයන් සිදු කරනු ඇත.

මෙම යෝජිත වෙළඳපල අධ්‍යයනයන් මගින් තෝරාගත් යුරෝපා වෙලඳපොලවල්වලට අදාල  වෙළඳ රෙගුලාසි, තීරුබදු නොවන කොන්දේසි සහ තාක්ෂණික රෙගුලාසි, වෙළඳපල ප්‍රවේශ අවශ්‍යතා, ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම, තත්ත්ව ප්‍රමිතීන් සහ සහතික කිරීම්, වෙළඳාම ආශ්‍රිත පාරිසරික සහ සමාජ අවශ්‍යතා, මිලකරණය, බෙදාහැරීමේ මාර්ග පිළිබඳ තොරතුරු යන ක්ෂේත්‍ර‍ආවරණය කරමින් එම වෙලඳපොලවලට අදාල ඉල්ලුම පිළිබද විශ්ලේෂණයක්සදුකරනු ලබයි.

එමෙන්ම මෙම වෙළෙඳපොළ අධ්‍යයන වාර්තාවලට එම රටවල ප්‍රධාන ගැනුම්කරුවන් පිළිබඳ තොරතුරු ද ඇතුළත් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමට සහ යුරෝපීය කලාපයේ වෙළෙඳපොළ කොටස වැඩි දියුණු කිරීමට හැකි වනු ඇත.

මෙම පර්යේෂණ සොයාගැනීම් පිළිබද තොරතුරු මාර්ගගත වෙබිනාර් (webinars)මාලාවක් හරහා ශ්‍රී ලාංකේය අපනයන ප්‍රජාව සහ ඒ ආශ්‍රිත පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන අතර බෙදා හරිනු ඇත.එම වාර්තා ව්‍යවසායකයන්ගේ පරිශීලනය සදහාඅපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියවන www.srilankabusiness.comවෙත දඇතුලත් කරනු ඇත.

දැනටශ්‍රී ලංකාවේ නිෂ්පාදන6,000කට වැඩි ප්‍රමාණයක් EU GSP+ යෝජනා ක්‍රමය යටතේ යුරෝපා (EU) කලාපයට තීරු බදු රහිත ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි.ශ්‍රී ලංකාව 2021 වසරේදී යුරෝපා(EU)කලාපයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2,948ක් වටිනා අපනයන සිදු කර ඇති අතර එය 2021 ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමෙන් 24% කි. (2021 දී බිලියන 12.2)

Visits: 41