ඩයලොග් සිය 3G සේවාව 2023 වසරේ සිට නවත්වා දැමීමට යයි

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මගින් ලබා දෙන 3G සේවාව ලබන 2023 වසරේ සිට අත්හිටුවීමට සැලසුම් කර ඇතැයි පවසයි. පසුගියදා එම සමාගම මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මෙලෙස 3G සේවාව අත්හිටුවීම හරහා නිදහස් කරගන්නා සිය සංඛ්‍යාත මගින් සිය 4G බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයේ ධාරිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම අරමුණ බවත් ඩයලොග් සමාගම පවසයි.

“ඩයලොග් සමාගම මගින් සිය පාරිභෝගිකයන් වෙත ලබා දෙන හොඳම ජංගම දුරකතන අත්දැකීම සැලසීමේ කර්තව්‍යයේ අවස්ථාවක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා. මේ හරහා දැනට පවතින නවතම තාක්ෂණය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙන රැගෙන ඒමට හැකිවේවි.” යනුවෙන් එම සමාගම සඳහන් කර සිටියි.

සමාගමට අනුව අදවනවිට ඩයලොග් සමාගමේ සමස්ත ඩේටා භාවිතය අතරින් 3G ජාලගත ගිණුම් භාවිතා කිරීම 1%කටත් වඩා අඩු අගයක් ගනී. ඒ අනුව මේ දක්වා එම 3G සේවාව සඳහා යොදා ගෙන ඇති 3G සංඛ්‍යාත ඉන් ඉවත් කර 4G බ්‍රෝඩ් බෑන්ඩ් සේවාව වෙත යොදවා ගැනීම හරහා වඩා හොඳ අත්දැකීමක් පාරිභෝගිකයා වෙතලබා දිය හැකි බවත් සමාගම පවසයි.

ඩයලොග් සමාගම මගින් මෙලෙස සිය 3G ජාලය වසා දැමීමේ ක්‍රියාවලියේ ආරම්භය ලෙස 2022 වසරේ ජූනි මාසයේ සිට සිය සේවාව හරහා අලුතින් 3G සම්බන්ධතා නිකුත් නොකිරිමට පියවර ගත් අතර, ඒ පිළිබඳව සියලුම අලෙවි නියෝජිතවරුන් සහ වෙළෙන්දන් දැනුවත් කිරීමද සිදුවිය.

මේ තත්ත්වයත් සමගින්ම දැනට 3G සේවාව භාවිතා කරන පාරිභෝගිකයන්ට හැකි ඉක්මණින්ම 4G ජාලය වෙත මාරුවන ලෙසත් ඩයලොග් සමාගම ඉල්ලා සිටියි. එසේම මෙහිදී 4G සේවාව වෙත මාරු වන 3G පාරිභෝගිකයන්ට සහයෝගයක් ලෙස හොඳම වටිනාකමින් යුත් 4G ස්මාට්ෆෝන් පෙළක්ම හඳුන්වාදී ඇතැයිද සමාගම පවසයි.

මේ අතර සිය පාරිභෝගිකයන් සඳහා වඩාත් හොඳම ජංගම දුරකතන අත්දැකීමක් ලබාදීම අවශ්‍ය නවීනතම තාක්ෂණය සහ යටිතලපහසුකම් වෙනුවෙන් ඩයලොග් සමාගම මේ දක්වා ඩොලර් බිලියන 3කට අධික ආයෝජනයක් සිදු කර ඇතැයිද ඩයලොග් ආසිආටා සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 134