සිංගර් ඩිජිටල් මීඩියා සමාගම සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හා එකතු කිරීමට යයි

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සිංගර් ඩිජිටල් මීඩියා (පෞද්) සමාගම (SDM) එම සමාගම හා ඒකාබද්ධ කිරීමට යෝජනා කෙරී ඇතැයි සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම පවසයි.

පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි.

මෙම සිංගර් ඩිජිටල් මීඩියා (පෞද්) සමාගම සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමෙහි ජංගම දුරකතන අලෙවිය සහ බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත සමාගම විය.

මෙම සමාගම් ඒකාබද්ධ කිරිම හරහා එය සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමට මෙහෙයුම් අතින් මෙන්ම මූල්‍යමය අතින්ද වාසිදායක වීම සැලකිල්ලට ගනිමින් එම සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල විසින් මේ සඳහා වන අනුමැතිය ලබාදී ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන් ව තිබේ.

සිංගර් ඩිජිටල් මීඩියා සමාගම සඳහන් කරන ආකාරයට අංක 08, නවම් මාවත, කො‍ළඹ 02 පිහිටි එම සමාගම මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

මෙම සමාගම් දෙකම සඳහන් කරන ආකාරයට 2022 ඔක්තෝබර් 31 වැනිදා වනවිට සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සතු සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් 48,922,835,660කි. එසේම එම සමාගම සතු සමස්ත ණයබරතාව රුපියල් 41,230,280,698කි.

මීට අමතරව සිංගර් ඩිජිටල් මීඩියා (පෞද්) සමාගම සතු සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් 2,787,353,292ක් වන අතර සමස්ත ණයබරතාව රුපියල් 3,006,594,007 කි.

Visits: 98