දියවන්නා ඔය ආශ්‍රිතව ‘දියත්මා‘ නමින් නව බෝට්ටු සේවයක් ඇරඹෙයි

බත්තරමුල්ල, දියවන්නා ඔය කේන්ද්‍ර කරගමින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක සේවා සපයනු ලබන නව බෝට්ටු සේවයක් “දියත්මා” නමින් ආරම්භ කිරීම පසුගියදා සිදුවිය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් මෙම විනෝදාත්මක බෝට්ටු සේවාව අරඹා තිබේ.

දිගින් මීටර 13ක් සහ පළලින් මීටර 4ක් වන මෙම බෝට්ටුව දියත්මා යනුවෙන් නම් කර තිබේ. මෙහි 30ට ආසන්න පිරිසකට පහසුකම් සපයා ඇති අතර සාකච්ඡා, සම්මන්ත්‍රණ, සුහද හමු ආදිය පැවත්වීමට හැකියාව ඇත. සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇති මෙම බෝට්ටුවේ සේවය ලබාගැනීම වෙනුවෙන් පැයකට අය කෙරෙන මුදල රුපියල් 20,000කි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි විනෝදාත්මක සේවා සපයනු ලබන බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.

රට ආර්ථික අර්බුදයකට මුහුණදී තිබෙන මොහොතක විදේශ සංචිත වැඩිකර ගැනීමට නම් මෙරටට පැමිණෙන සංචාරකයන් රට තුළ වැඩි කාලයක් රැඳි සිටින වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව සංචාරකයන්ට විනෝදාස්වාදය සැපයීමට මෙවැනි මගී බෝට්ටු සේවා ඉතා වැදගත් බවද  හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

මෙම ලෙෂර් බෝට්ටු සේවාව ආරම්භ කර පැය කිහිපයක් ඉක්ම යන්නටත් මත්තෙන් 9 දෙනෙකු මෙම බෝට්ටුව වෙන්කරවා ගෙන ඇතැයි ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

Visits: 79