අබ්බාස් එසුෆුලි තමන් සතු වූ හේමාස් කොටස් 2,450,000ක් තෑගි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අබ්බාස් එසුෆුලි මහතා එම සමාගම තුළ තමන් සතුව තිබූ කොටස් 2,450‍,000ක් තෑගි කර ඇතැයි පවසයි.

එම සමාගම මගින් පසුගිය සිකුරාදා (16දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙහිදී අවස්ථා දෙකකදී එම කොටස් තෑගි කිරීම සිදුව තිබේ. ඒ අනුව පසුගිය දෙසැම්බර් 08 වැනිදා ඒ මහතා විසින් එම සමාගමෙහි කොටස් 350,000ක් තෑගි කර ඇති අතර, දෙසැම්බර් 12 වැනිදා තවත් කොටස් 2,100,000ක් තෑගි කර තිබේ.

වර්තමානයේදී හේමාස් සමාගමේ හිමිකාරීත්වය පවතින්නේ එසුෆුලි පවුලේ සාමාජිකයන් සතුවයි.

ඒ අනුව අබ්බාස් එසුෆුලි, හුසේන් එසුෆුලි, ඉම්තියාස් සහ මුර්ටාසා එසුෆුලි යන සහෝදරයන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

ඔවුන් සිව් දෙනා සතුව ඇති හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් ප්‍රතිශතය 61෴කි.  එහිදී AZ Holdings (Pvt) Ltd (15.77෴), Amagroup (Pvt) Ltd (15.33෴), Saraz Investments (Pvt) Ltd (15.01෴), Blueberry Investments (Pvt) Ltd (14.91෴) යනාදී ලෙස මෙන්ම තනි තනිවද එම සහෝදරයන් වෙත සමාගමේ කොටස් හිමිකාරීත්වයක් පවතී.

මේ අතරින් අබ්බාස් මහතා සතුව පෞද්ගලිකව ඇති කොටස් ප්‍රමාණය 2,617,353කි. ඒ අනුව ඉන් කොටස් 2,450‍,000ක් මෙලෙස ඔහු විසින් තෑගි ලෙස ප්‍රදානය කර තිබෙන බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් අබ්බාස් මහතා මෙලෙස සිය කොටස් තෑගි ලෙස පිරිනමා ඇත්තේ කවර පුද්ගලයෙකුටද / සමාගමකටද යන්න මෙහිදී අනාවරණය වී නැත.

එහෙත් අබ්බාස් මහතා අද වන විට විවිධ ආබාධ සහිත දරුවන් සඳහා ක්‍රියාත්මක අයාති (Ayati) පදනමේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. ඒ අනුව ඔහු විසින් මෙම කොටස් ප්‍රමාණය එම පදනම වෙත තෑගි කිරීමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවද අදහස වී තිබේ.

Visits: 415