“රට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම SLIM SMEDA අරමුණයි” – ව්‍යාපෘති ප්‍රධානී මදුරංග වීරතුංග

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇගයීම වෙනුවෙන් පළමුවරට සංවිධානය කරන SLIM SMEDA සම්මාන උළෙල සඳහා අයැදුම්පත් කැඳවීම ලබන දෙසැම්බර් 20 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මෙම සම්මාන උළෙල සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ අපි SLIM SMEDA ව්‍යාපෘති ප්‍රධානී මදුරංග වීරතුංග මහතාගෙන් අදහස් විමසුවෙමු.

SLIM SMEDA සම්මාන උළෙල කියන්නේ මොකක්ද?
ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය (SLIM) මගින් සංවිධානය කරන SMEDA (SME Development Awards) සම්මාන උළෙල මූලිකවම ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇගයීම සඳහා වන සම්මාන උළෙලක්.

සම්මාන පිරිනැමීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තෝරා ගන්නේ කොහොමද?
මෙතැනදී සම්මාන පිරිනැමීම සඳහා ව්‍යාපාර තෝරා ගැනීම කාණ්ඩ දෙකක් යටතේ සිදු කරනවා. එක් කාණ්ඩයක් සුළු පරිමාණ ව්‍යාපාර ලෙසත් අනෙක් කාණ්ඩය මධ්‍යම පරිමාණ ව්‍යාපාර ලෙසත් සැලකෙනවා. ඒ අතරින් සුළු පරිමාණ ව්‍යාපාර යටතට ගැනෙන්නේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 16 සිට මිලියන 250ක් දක්වා වන ව්‍යාපාර. ඒ වගේම රුපියල් මිලියන 251 සිට රුපියල් මිලියන 750ක් දක්වා වන වාර්ෂික පිරිවැටුමක් සහිත සමාගම් මධ්‍ය පරිමාණ ව්‍යාපාර යටතට අයත් වෙනවා. මේ කාණ්ඩ ගත කිරීම සඳහා වන පරාමිතීන් තෝරා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳ වර්ගීකරණය අනුව යමිනුයි.

SLIM ආයතනය මෙවැනි සම්මාන උළෙලක් පවත්වන්න හේතු වුණේ ඇයි?
මේක තමයි පළමු වැනි SLIM SMEDA සම්මාන උළෙල. දැනට වසර කිහිපයකට කලින් තමයි මේ සම්මාන උළෙල ගැන යෝජනා වුණේ. ඒත් වසංගතය ඇතුළු හේතු නිසා එය ක්‍රියාත්මක වුණේ නෑ. ඒත් අපි කල්පනා කළා දැනට රටේ තියෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ නොසැලී තම ව්‍යාපාර කටයුතු සිදු කිරීමේ හැකියාවක් පවතින පිරිස් ඇගයීමක් සහ අනෙකුත් ව්‍යාපාරිකයන් එවැන්නක් සඳහා දිරි ගැන්වීමක් ලෙස මෙම සම්මාන උළෙල සැලසුම් කරන්න.

ඒවගේම SLIM ආයතනය ලෙස මේ වසරේ අපේ සංකල්පය වෙන්නේ ‘නේෂන් බ්‍රෑන්ඩින්ග්‘ එහෙමත් නැත්නම් ‘ජාතික සන්නාමකරණය‘ කියන දේ. එතැනදී රටේ තියෙන මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන ඇගයිමක් සිදු කිරීම වටිනවා කියන දේ අපි හඳුනාගත්තා.

SLIM SMEDA වෙත ඉල්ලුම් කිරීමේ ඇති වැදගත්කම මොකක්ද?
සම්මාන උළෙලට ඉල්ලුම් කිරිම සඳහා වෙන ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු දිහා බැලුවම වුණත් තේරෙනවා මේ SLIM SMEDA කියන්නේ පවතින ව්‍යාපාරයක් වෙනමම උසස් තැනකට පත් කිරීමේ උත්සාහයක අවස්ථාවක් කියලා. එතැනදී ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය, සමාගම මගින් සිදු කරන සමාජමය වගකීම් දැරීමේ ප්‍රමාණය කියන දේ ගැන තොරතුරු පිරවීමක් සිදු කරන්න වෙනවා. එතකොට ව්‍යාපාරයකට පුළුවන් වෙනවා තමන් මේ කියන කාරණාවලින් කොතැනකද ඉන්නේ, තමන් මේ දේ නොකළා කියලා පාඩු සිද්ධ වුණාද, එමෙහත් නැත්නම් එවැනි දේ කළා කියලා ඉදිරියේදී ව්‍යාපාරයේ වර්ධනයක් සිදු කරගන්න පුළුවන්ද කියන දේ තේරුම් ගන්න.

සම්මාන පිරිනැමෙන කාණ්ඩ මොනවාද?
මෙතැනදී විවිධ ව්‍යාපාර වර්ග අනුව රන්, රිදී සහ ලෝකඩ ලෙස සම්මාන තුනක් පිරිනැමීමට SLIM SMEDA සංවිධායක කමිටුව සූදානමින් සිටිනවා. ඒ අනුව ඩිජිටල් අන්තර්ජාල ව්‍යාපාර (සිය ආදායමෙන් 80%ක් අන්තර්ජාලය හරහා ලබා ගන්නා ව්‍යාපාර)‍‍, සිල්ලර වෙළෙඳාම, කෘෂිකාර්මික සහ කිරි නිෂ්පාදන, FMCG, ආගන්තුක සත්කාර, අධ්‍යාපනය ඇතුළු සේවා සම්පාදනය, අපනයන (සිය ආදායමෙන් 80%කට වඩා වැඩි අපනයන ආදායමක් සහිත), ව්‍යාපාර සිට ව්‍යාපාර වෙත භාණ්ඩ අලෙවි කරන (B2B), රෙදිපිළි සහ ඇගලුම්, ඉදිකිරීම් සහ දේපළ වෙළෙදාම්, සෞඛ්‍ය සහ සුවය සහ කලාත්මක නිර්මාණ සහ වෙනත් මෙම කාණ්ඩ වෙනවා.

මීට අමතරව මෙම සියලුම කාණ්ඩ අතරින් හොඳම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා (SME Entrepreneur of the year), වසරේ තරුණ නව ව්‍යවසායකයා (Young Startup of the year) සහ වාණිජත්වයට පත් කෙරුණු හොඳම නවෝත්පාදන ව්‍යාපාරය (Best Innovate to Commercialized market) ලෙසත් සම්මාන පිරිනැමීමක් සිදු වෙනවා. මේ අතරින් Young Startup of the year සඳහා සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 30ට අඩු ව්‍යවසායකයන්. නමුත් Best Innovate to Commercialized market සඳහා වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ.

මේ සම්මාන උළෙල හරහා SLIM බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
අපේ මූලිකම බලාපොරොත්තුව තමයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තවදුරටත් ව්‍යාපාරික කටයුතු සඳහා උනන්දු කරවීම. ඒ වගේම ඔවුන් සතු අඩුපාඩුකම් හඳුන්වා දීලා එම අඩුපාඩු මඟහැරවිම සඳහා උදව් ලබාදීම. මේ සම්මාන උළෙලට සමගාමීව අපි ඉදිරියේදී ආරම්භ කරනවා ‘SLIM ප්‍රයත්න‘ කියලා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්. එතැනදී විවිධ ක්ෂේත්‍රවල සම්පත්දායකයන් සම්බන්ධ කරගනිමින් ව්‍යාපාරයක විවිධ අංශ සම්බන්ධයෙන් දැනුම ලබාදෙනවා.

SLIM SMEDA සම්මාන උළෙලට ඉල්ලුම් කිරීමෙන් මේ ව්‍යාපාරවලට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද?
ඔවුන්ට රටටම පෙනෙන්න ලැබෙන ප්‍රතිලාභය තමයි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම පිළිගන්න SLIM ආයතනයෙන් පිරිනමන සම්මානයක් හිමි කරගැනීම. ඒ හරහා එම ව්‍යාපාරයට මෙතෙක් තිබුණු පිළිගැනීම, විශ්වාසය, වෙළෙඳ පොළ කොටස තවත් ඉහළ යනවා. ඒ වගේම කාටන් නොපෙනෙන ප්‍රතිලාභය තමයි සම්මාන උළෙල අතරතුරදී එම ව්‍යාපාරයට ලැබෙන ව්‍යාපාරික දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාව ලැබීම.

රටකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වැදගත්කම මොකක්ද?
ලංකාව ගත්තහම ව්‍යාපාර අතරින් 80%කට වඩා වැඩියෙන් තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ආර්ථිකය අතින් දළ ජාතික නිෂ්පාදිතයෙන් 52%ක් සදහා දායකත්වය ලබාදෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. රැකියා උත්පාදනයෙන් 45%කට වගේම, අපනයන ආදායමෙන් 20%කට දායක වෙන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර.

ලංකාව තුළ ව්‍යවසායකත්වය කියන දේ තියෙන්නේ මොනවගේ තැනකද?
ආසියානු කලාපයේ රටවල් ගත්තහම ව්‍යවසායකත්වය කියන දේ එම රටවල ආර්ථිකයෙන් 8% – 11%ක පමණ ප්‍රතිශතයක් නියෝජනය කරනවා. හැබැයි ලංකාවේ එය 2%ත් 3%ත් අතර අගයක් තමයි තියෙන්නේ. SLIM ආයතනය හැටියට අපට අවශ්‍ය වෙලා තියෙන්නේ රට තුළ ව්‍යවසායකත්වය කියන දේ 5%ක පමණ ප්‍රතිශතයක් දක්වා දියුණු කරන්න. එහි එක් පියවරක් විදියට තමයි SLIM SMEDA ක්‍රියාත්මක වෙන්නේ.

රට තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් උනන්දුව අඩු වුණේ ඇයි?
ඒකට මූලිකම හේතුව වුණේ ව්‍යවසායකත්වය කියන දේට රට තුළ පිළිගැනීමක් නැති වීම. ඒ නිසා හැමෝම රජයේ රැකියාවක් හරි, වෙනත් සාර්ථක ව්‍යාපාරයක හරි රැකියාවක් සොයාගෙන ගියා මිසක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කල්පනා කළේ නෑ. ඒත් ව්‍යවසායකයා කියන්නේ ගමකට, නගරයකට, පළාතකට අතිශය වැදගත් පුද්ගලයෙක්. ඔහුගේ ව්‍යාපාරය හරහා බිහිවන සෘජු හා වක්‍ර රැකියා වගේම අනෙකුත් ව්‍යාපාරික අවස්ථාවන් සපයනවා. හැබැයි එම ව්‍යාපාරිකයාට හෝ එම ව්‍යවසායකයාට ලැබිය යුතු පිළිගැනීම ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි SLIM ආයතනය රට තුළ ව්‍යවසායකයන් සහ ව්‍යවසායකත්වය මෙවැනි අවස්ථා හරහා තවත් උනන්දු කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නේ.

රට තුළ ව්‍යවසායකත්වය දියුණු කරන්න පුළුවන් ක්‍රම මොනවාද?
අපි උදාහරණයක් විදියට ගත්තොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන හැමෝම වගේ අධ්‍යාපන කටයුතුවලින් පස්සේ උත්සාහ කරන්නේ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගන්න. ඒත් මේ උසස් අධ්‍යාපනය ලබපු පිරිසගෙන් කොටසක් හරි ව්‍යවාසයකත්වය වෙත යොමුවෙනවා නම් රට තුළ ව්‍යවසායකත්වය දියුණු වෙනවා. මොකද ඔහු හෝ ඇය ඒ වෙත යොමුවෙන්නේ ඉහළම සුදුසුකම ලබලා.

දැනට දශක කිහිපයට පෙරදී වගේ වර්තමානයේදී රට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහි නොවෙන්නේ ඇයි?
වර්තමානයේදී ලංකාවේ තියෙන සාර්ථක ව්‍යාපාර බොහෝමයක්ම ළදරු අවස්ථාවේ පැවතිලා පසුව ක්‍රමයෙන් දියුණු වෙලා ජාතික වගේම ජාත්‍යන්තර මට්ටම පත් වුණු ව්‍යාපාර. ඒ ව්‍යවසායකයන් සියලු දෙනා තමන්ගේ ව්‍යාපාර යම් මට්ටමකට දියුණු කරගැනීමේ, පුළුල් කරගැනීමේ උනන්දුවක් තිබුණ පිරිස්. ඒත් අද යමෙක් ව්‍යාපාරයක් අරඹනවා කියන්නේ තමන්ට ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් නැතිවෙන කොට කරන දෙයක්. එතැනදී සැලකිය යුතු ආදායමක් ලැබෙන කොට ඒ ව්‍යාපාරය තවදුරටත් දියුණු කරගැනීමේ අදහස අත්හරිනවා. එතකොට ඒ ව්‍යාපාරය ජාතික මට්ටමක් දක්වා යන්නේ නෑ. ඒ නිසා තමයි ආසන්න කාලයේදී රට තුළ කැපී පෙනෙන ව්‍යවසායකත්ව සංස්කෘතිකයන් දක්නට නොලැබුණේ. SLIM SMEDA හරහා අපි උත්සාහ කරන්නෙත් මේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් රට තුළ යළි ඇති කරන්නයි.

SLIM SMEDA සඳහා අයැදුම් කිරීමේ අවසන් දිනය කවදාද?
මේ සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව ලබන දෙසැම්බර් 20 වැනිදායින් අවසන් වෙනවා. ඊට පස්සේ ජනවාරි මාසයේදී ජූරි සභාවක් හරහා මේ අයැදුම් පත්‍ර විශ්ලේෂණය කිරීම සිදු වෙනවා. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් හරහා තමයි ‍ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු වෙන්නේ. දැනට සැලසුම් කරල තියෙන විදියට ලබන වසරේ පෙබරවාරි මාසයේදී මේ සම්මාන උළෙල පැවැත්වෙනවා. එය ජාත්‍යන්තර මට්ටමේ සම්මාන උළෙලක් ලෙස පැවැත්වීම තමයි අපේ අපේක්ෂාව.

Visits: 135