Hayleys Advantis ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයං පාපැදි අලුත්වැඩියා කිරීමේ ස්ථානය ස්ථාපිත කරයි

හේලීස් සමූහයේ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය අංශය වන Hayleys Advantis (හේලීස් ඇඞ්වාන්ටිස්) සමාගම කොළඹ පුරා ස්වයං පාපැදි අළුත්වැඩියා කිරීමේ ස්ථාන ජාලයක් ස්ථාපිත කිරීමට සූදානමින් සිටින බව පවසයි.

ඉන් පළමුවැන්න හේලීස් පීඑල්සී හි සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ හේලීස් ඇඞ්වාන්ටිස් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා විසින් කොළඹ 3 හිදී විවෘත කිරිම පසුගියදා උත්සවාකාරයෙන් සිදුවිය.

හේලීස් ඇඞ්වාන්ටිස් හි සේවකයින් 150 කට වැඩි පිරිසක් සහභාගී වූ පාපැදි සවාරියකට සමගාමිව මෙම අවස්ථාව සංවිධානයවී තිබීමත් විශේෂත්වයකි.

මෙහිදී කිලෝමීටර් 17 ක දුරක් ආවරණය කළ අතර එය හේලීස් පීඑල්සී ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල අසලින් ආරම්භ කරමින් ලිප්ටන් වටරවුම, නෙළුම් පොකුණ වටරවුම, නිදහස් මාවත, කුරුඳුවත්ත පොලිස් ස්ථානය, බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන් පාර, ශාන්ත පීතර විද්‍යාලය, ගාලූ පාර, ගාලූමුවදොර දක්වා ගොස් නැවත ඞීන්ස් පාරේ පිහිටි ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල අසලින් අවසන් කරන ලදි.

හේලීස් ඇඞ්වාන්ටිස් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා, ”පාපැදි ධාවනය ඔබේ සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා වන ආරක්ෂිතම ව්‍යායාම අතුරින් එකක්. විශේෂයෙන් අප රටක් ලෙස ඉන්ධන අර්බුදයට මුහුණ දී සිටින අවස්ථාවේ අපගේ සේවයින් බහුතරයක් පාපැදිය තම ජීවිතයට සමීප කරගත් බව අපි දැක්කා. නමුත් පාපැදි වල හදිසි අලූත්වැඩියාවන් සඳහා මෙවලම් සහ ස්ථාන නොමැතිකම නිසා ඔවුන් අපහසුතාවයට පත්වන බව අපට පෙනී ගියා. එහි ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ නගරයේ පාපැදි අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කරමින් අපගේ සේවකයන්ට සහ පාපැදිකරුවන්ට සහය වීමට අපි තීරණය කළා.” යැයි පැවසුවේය.

ශී‍්‍ර ලංකාවේ දී දියත් වන මෙම ප‍්‍රථම ස්වයං පාපැදි අලූත්වැඩියා කිරීමේ ස්ථානය මඟින් පාපැදි අලූත්වැඩියාව සඳහා අවශ්‍ය වායු පොම්ප සහ අනෙකුත් මෙවලම් වලින් සමන්විත වෙයි.

හේලීස් ඇඞ්වාන්ටිස් විසින් තරඟකාරී පාපැදි ධාවකයෙකු සහ පාපැදි ධාවන ක්ෂේත‍්‍රය වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන යසස් හේවගේ මහතා සමඟ අත්වැල් බැඳගෙන සහභාගිවන්නන් සඳහා ‘Change the Game’ නමින් වැඩමුළුවක් පැවැත්වීම ද විශේෂත්වයකි.

එහිදී සහභාගිවන්නන්ට බයිසිකල් පැදීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව දැනගත හැකි වූ අතර ඔහු ද හේලීස් ඇඞ්වාන්ටිස් කණ්ඩායම සමඟ පාපැදි සවාරියට එක්විය.

”පසුගිය දශකය තුළ බොහෝ වැඩපිළිවෙලවල් කි‍්‍රයාත්මක වී ඇති අතර පාපැදි ධාවන කී‍්‍රඩාව සඳහා යටිතල පහසුකම් සැපයීම තුළින් එය වඩාත් සාර්ථකව ජනතාව අතරට ගෙන යා හැකිය. මෙවැනි ස්ථානයක් දියත් කිරීමත් සමඟ හේලීස් ඇඩ්වාන්ටිස් ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීමට අත්වැලක් සපයනවා. මෙලෙස ආරක්ෂිත පාපැදි ධාවනය සඳහා දායකත්වයක් දක්වන ව්‍යාපෘති සඳහා ආයතනික සමාගම් සම්බන්ධ වීම ප‍්‍රශංසනීයයි.” යනුවෙන් Spinner Cycling හි නිර්මාතෘ යසස් හේවගේ මහතා පැවසුවේය.

Visits: 79