මේ වසර අවසානයට පෙරාතුව ශ්‍රී ලංකාව ගැන සාකච්ඡාවකට IMF බලාපොරොත්තුවක් නෑලු

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඉල්ලුම් කර ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක ණය ප්‍රදානය මෙම වසර අවසානයට පෙරාතුව අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව බලාපොරොත්තුව නොසිටින බව වාර්තා වෙයි.

රොයිටර් පුවත් සේවය සිය පුවතක් හරහා මෙම කරුණු අනාවරණය කර සිටයි. මෙහිදී මූලිකවම ශ්‍රී ලංකාව වෙත එම අරමුදල් සැපයීම සඳහා අවශ්‍ය පියවරක් සම්පූර්ණ කිරිමට නියමිතව තිබීම මේ සඳහා හේතුව බව අදාළ කරුණ හා සම්බන්ධ පාර්ශ්වයන් දෙකක් හරහා දැනගන්නට ලැබුණු බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

ශ්‍රී ලංකාව දශක ගණනාවකට පසුව මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයෙන් සහ විදේශ විනිමය හිඟයෙන් මිදීම සඳහා වන ණය සහන පැකේජයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පිවිසුනු අතර, පසුගිය ජුනි මාසයේදී ඒ සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පත්වීම සිදුවිය.

එහිදී එම අරමුදල සමගින් එකඟතාවට පත් වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් අනුකූලතාවක් දැක්වීම අනිවාර්යය වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජය පසුගිය සැප්තැම්බර් මාසයේදී දැක්වූ අදහස්වලට අනුව මෙම වසර අවසානයේදී යම් එකඟතාවකට පැමිණීමේ අපේක්ෂාවක පසුවිය. එහෙත් ඒ සම්බන්ධයෙන් වන කටයුතු පසුගිය කාලසීමාවේදී මන්දගාමී ආකාරයෙන් සිදු වූ අතර, ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය පවා පසුගිය මාසයේදී අදහස්දක්වමින් මෙම එකඟතාවට පිවිසීම ලබන ජනවාරි මාසය දක්වා කල්යනු ඇතැයි සඳහන් කළ බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

එහිදී මූලිකවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රදානය අනුමතවීමට නම් ශ්‍රී ලංකාව සිය ණය තිරසාරබවට පත්කළ යුතුව ඇති අතර, රජයේ ආදායම් ඉහළ නැංවීම සිදුකළ යුතුව ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණයහිමිකරුවන් තිදෙනෙකු වන චීනය, ජපානය සහ ඉන්දියාව සමගින් එම ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් වන සාකච්ඡා වෙත පිවිසීමද එම අරමුදල මගින් ඒත්තු ගන්වා තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අන්තර්ජලය හරහා ප්‍රසිධ්යට පත් කර ඇති එම අරමුදලේ මණ්ඩල දින දර්ශනයට අනුව අද (දෙසැම්බර් 14) සිට ලබන දෙසැම්බර් 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති නැගී එන ආර්ථිකයන් කිහිපයක් සඳහා නව ණය ප්‍රදානය කිරීමේ කටයුතු වල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමේ හමු පැවැත්වීමට නියමිතව තිබේ. එහෙත් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් සිදු කර ඇති අතර, එහිදී ඉමේල් නිවේදනයක් හරහා ඊට ප්‍රතිචාර දක්වා ඇති මුදල් අමාත්‍යාංශය මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතිය සම්බන්ධයෙන් තමන් 100%ක් අවධානය යොමු කර ඇතැයි පවසා තිබේ.

“මේ සඳහා අපගේ ද්විපාර්ශ්වික ණය හිමිකරුවන්ගෙන් ලබා ගත හැකි මූල්‍යමය සුරක්ෂිතතාව පිළිබඳ විශ්වාසය හැකි ඉක්මණින්ම ලබා ගැනීම සඳහා ගත හැකි සෑම ප්‍රතිපත්තිමය පියවරක්ම ගැනිමට අපි කටයුතු කරනවා.” යනුවෙන් මුදල් අමාත්‍යාංශය එම නිවේදනයේ සඳහන් කර ඇතැයිද රොයිටර් පුවත් සේවය පවසයි.

Visits: 37