බ්ලූ ඩයමන්ඩ් ජුවලරි කොටස් මිලියන 88ක් සිංගප්පූරුවේ ඇම්බ්‍රෝසියා මැනේජ්මන්ට් සමාගමට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී (BLUE.N0000) සමාගම නිකුත් කර ඇති කොටස් මිලියන 88ක් (88,000,000) පෞද්ගලික නිකුතුවක් හරහා ඇම්බ්‍රෝසියා මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමට ලබාදීමට එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය එකඟතාව පළ කර ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී එම සමාගම විසින් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙහිදී එක් සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් ශත 29ක් බැගින් එම කොටස් නිකුත් කිරීම සිදු කරනු ඇති බවත් සමාගම පවසයි. ඒ අනුව සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 25.5ක් (25,520,000ක්) ලෙස සටහන්ව තිබේ.

එසේම මෙම පෞද්ගලික නිකුතුව හරහා නිකුත් කරන කොටස් ප්‍රමාණය එම සමාගමෙහි සමස්ත කොටස් අතරින් 20%ක ප්‍රතිශතයක් ගන්නා බවත් සමාගම පවසයි.

බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී සමාගමේ වත්කම් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 101.2 ක් (101,294,000ක්) ලෙස සටහන්ව තිබේ.

මෙම පෞද්ගලික කොටස් නිකුතුව හරහා හිමිවන ආයෝජනය සිය සමාගමෙහි නිෂ්පාදන අලෙවිය සහ අලෙවිකරණ ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදවනු ඇතැයිද බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

සිංගප්පූරුවෙහි ලියාපදිංචි මෙම ඇම්බ්‍රෝසියා මැනේජ්මන්ට් සමාගම අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය පිළිබඳ සේවා සම්පාදන සමාගමකි. කෙසේ වෙතත් අදාළ පෞද්ගලික නිකුතුව හරහා ඇම්බ්‍රෝසියා මැනේජ්මන්ට් සමාගම වෙත එම කොටස් ලබාදීම සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලැබිය යුතු බවත්, එය මීළග මහා සභා රැස්වීමේදී සිදු කරගන්නා බවත් සමාගම පවසයි.

Visits: 45