Microsoft සහ LinkedIn එක්ව නොමිලේ පාඨමාලා 350ක් සහ LinkedIn Learning ශිෂ්‍යත්ව 50,000ක්

Microsoft සහ LinkedIn එක්ව ක්‍රියාත්මක කරන Skills for Jobs වැඩසටහනේ මීළඟ අදියර ආරම්භ කිරීමට දෙපාර්ශ්වය මේ වනවිට සැලසුම් කර ඇතැයි පවසයි.

මේ යටතේ නොමිලේ පාඨමාලා 350 ක්, නව Career Essentials සහතික 6 ක් සහ LinkedIn Learning ශිෂ්‍යත්ව 50,000 ක් පිරිනැමෙන අතර, 2025 වසර වන විට, ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා මිලියන 10 කට අධික පිරිසක් පුහුණු කිරීම සහ ඔවුන් සහතිකකරණය කිරීම Microsoft හි අපේක්ෂාව වී තිබේ.

මෙය මීට පෙර ලොව පුරා මිලියන 80 කට අධික පිරිසකට තම ඩිජිටල් කුසලතා වැඩිදියුණු කරගැනීමට උපකාරී වූ Global Skills වැඩසටහනේ ඉදිරි පියවරකි.

මේ දක්වා LinkedIn, Microsoft Learn සහ ලාභ නොලබන පුහුණු වැඩසටහන් හරහා පුහුණුව ලබා දී ඇති පිරිස මිලියන 14 ඉක්මවන අතර, මේ අතරින් 101,000 කට අධික පිරිසක් ශ්‍රී ලාංකිකයන් ය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම LinkedIn Learning Pathways ලෙස හඳුනාගෙන ඇත්තේ Project Manager, Digital Marketing Specialist, Software Developer, Critical Soft Skills, Financial Analyst සහ Graphic Designer යන රැකියා අංශ හයයි.

වැඩසටහනට අදාළව, වැඩිම ඉල්ලුමක් ඇති රැකියා අංශ හය (Administrative Professional, Project Manager, Business Analyst, Systems Administrator, Software Developer හෝ Data Analyst) තෝරාගැනීම සඳහා, LinkedIn සහ Burning Glass Institute වෙතින් දත්ත ලබාගෙන රැකියා ඇබෑර්තු විශ්ලේෂණයට ලක්කිරීමට Microsoft කටයුතු කළේ ය.

ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, ස්පාඤ්ඤ, පෘතුගීසි, සරල චීන සහ ජපන් යන භාෂා හයෙන් මෙම පාඨමාලා හැදෑරිය හැකි වේ. මෙය ඩිජිටල් ආර්ථිකයක් තුළ සාර්ථක වීම සඳහා අවශ්‍ය දැනුම, තාක්ෂණය හා අවස්ථාවන් ලොව පුරා ජනතාවට ලබාදීම සඳහා Microsoft දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.

“ශ්‍රී ලංකාව තුළ කාටත් පොදු ආර්ථික හා සමාජයීය ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා, වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ කුසලතා පරතරය පියවීම අත්‍යවශ්‍යයි. ලොව පුරා මිලියන 10 ක පිරිසකට වර්තමානයේ වැදගත් වන දැනුම හා පුහුණුව ලබාදීමට අප දරන මේ උත්සාහය ඔස්සේ, අඛණ්ඩව සියලුම දෙනාට තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීමේ අවස්ථාවන් සලසා දෙමින්, ඔවුන්ට නවෝත්පාදන වැළඳ ගනිමින් දියුණුව කරා යා හැකි රැකියා අවස්ථා විවෘත කර දීම අපගේ අරමුණයි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට, ක්‍රමයෙන් පුළුල් වන ඩිජිටල් ලෝකය තුළ වැඩි වැඩියෙන් සාර්ථක වීම සඳහා අත්වැලක් වීමට LinkedIn සහ අනෙකුත් හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්.” Microsoft සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.

නව Career Essentials සහතිකකරණ වැඩසටහන සැලසුම් කර ඇත්තේ, රැකියා අවස්ථා උදාකර ගැනීම පහසු වන ආකාරයට, මූලික ඩිජිටල් සාක්ෂරතා මට්ටමේ සිට වඩාත් දියුණු තාක්ෂණික හැකියාවක් දක්වා තම කුසලතා වැඩිදියුණු කරගනිමින් ඒ සඳහා නිසි සහතිකකරණ හිමිකර ගැනීමට වෘත්තිකයන්ට අවස්ථාව ලැබෙන පරිද්දෙනි. එක් Learning Pathway ධාරාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කළ පසුව, එය තහවුරු කිරීම සහ අදාළ පුද්ගලයාගේ කුසලතා මට්ටම දැක්වීම සඳහා ඔහුට හෝ ඇයට LinkedIn සහතිකයක් හිමි වේ.

මෙම වැඩසටහන යටතේ හැදෑරිය හැකි පාඨමාලා පිළිබඳ සියලු තොරතුරු opportunity.linkedin.com වෙබ් අඩවියේ දක්වා ඇත. මීට අමතරව Microsoft මගින් නිර්මාණය කරන ලද වෙනත් පාඨමාලා Microsoft Community Training (MCT) හි දක්වා ඇති අතර, ලාභ නොලබන හවුල්කරුවන්ට වෙනත් ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) සමග භාවිතා කිරීම සඳහා බාගත කළ හැකි ආකාරයට ඒවා සකස් කර තිබේ.

Visits: 45